මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගර 100 සංවර්ධන ව්‍යාපෘතිය කුරුණෑගලින් අද ඇරඹෙයි

    ජූලි 27, 2021

    * වසර ගණනාවක් තිස්සේ සංවර්ධනයකට ලක් නොවූ නගර 100 ක් අලංකාරවත් ලෙස සංවර්ධනයට පියවර.

    * නගරයකට රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 2000 ක් වෙන් කෙරේ.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි, රටපුරා අලංකාර ලෙස නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමේ වැඩ සටහන, අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ, හිරිපිටිය නගරයෙන් ඇරඹෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම නගර 100 සංවර්ධන ව්‍යාපෘතිය රට පුරා ක්‍රියාත්මක කරනු ලබයි.

     අද ඇරඹෙන නගර 100 සංවර්ධන ව්‍යාපෘතියට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නගර 08 ක් තෝරාගෙන ඇත.

    ඒ අනුව, හෙට දින ඇරඹෙන හිරිපිටිය නගරය සංවර්ධනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතාගේ යෝජනාවක් අනුව සිදුකෙරේ.

    සෙසු නගර ලෙස තෝරාගත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 07 න්, කොබෙයිගනේ සහ අඹන්පොළ යන නගර දෙක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවක් අනුව තෝරාගෙන තිබේ.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉතිරි නගර 05 වන බෝවත්ත, බිංගිරිය නගරය බතික්, අත්යන්ත්‍ර සහ දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අලව්ව නගරය ශාන්ත බණ්ඩාර, හෙට්ටිපොල නගරය ගුණපාල රත්නසේකර, පන්නල මාකදුර නගරය අනුර ප්‍රියදර්ශන යාපා සහ කටුපොත නගරය සමන්ප්‍රිය හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යෝජනාවන් අනුව තෝරාගෙන ඇත.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක කෙරෙන නගර 100 සංවර්ධන ව්‍යාපෘතිය තුළින් කරුණු කිහිපයක් ඉටුකරගැනීමට අපේක්ෂිතයි.

    මීට අදාළ යෝජනාව ගරු අග්‍රාමාත්‍යතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇති අතර, වසර ගණනාවක් තිස්සේ නිසිලෙස සංවර්ධනයට ලක්නොවූ නගර මේ යටතේ අලංකාර කර සංවර්ධනය කෙරෙනු ඇත.

    ඒ අනුව, දැනට ප්‍රධාන හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාව අවමකර, සියලු ජනතාව සඳහා එකසමාන නාගරික පහසුකම් ලබාදීම තුළින්, එම ජනතාවගේ සමාජ, දේශපාලන හා ආර්ථික අවශ්‍යතාවයන් ඉටුකිරීම මෙම නගර සංවර්ධනයේ මූලික අරමුණ වන බව මෙම ව්‍යාපෘතිය සිදුකරන නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

    විශේෂයෙන් රටපුරා විහිදී ඇති දෙවන හා තෙවන පෙළේ නගර, ඒවායේ කලක සිට පැවත එන අසංවර්ධිත සංවර්ධනය හේතුකොටගෙන මහජනතාවට පීඩාකාරී ලෙස තවමත් පවතින නගර වෙනස්කර, ඉතා අලංකාර හා ක්‍රමවත් මහජන හිතකාමී නගර ලෙස සංවර්ධනය කිරිම මෙහිදී සිදුකෙරේ.

    එම අරමුණ යටතේ සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා තෝරාගත් කුරුණෑගල, හිරිපිටිය නගරය නිසිපරිදි අංශ 05 ක් යටතේ සංවර්ධනය කෙරෙයි.

    ඒ අනුව ඇවිදින මංතීරු ඉදිකිරීම, පවතින බස් රථ නැවතුම්පොළ විධිමත් ලෙස සහ නිවැරදි සැලසුමකට අනුව නැවත සැකසීම, වීදී ලාම්පු සැකසීම, ළමා උද්‍යාන ඉදිකිරිම සහ වට රවුම් අලුතින් ඉදිකිරීමට නියමිතයි.

    සංවර්ධනය කිරීම ඇරඹෙන හිරිපිටිය නගරය පාලනය වන්නේ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව යටතේය.

    දැනටමත් නාගරික ලක්ෂණ පෙන්වමින් සිටින හිරිපිටිය නගරය කුරුණෑගල, වාරියපොළ, මඩගල්ල සහ කුඹුක්ගැටේ යන නගර සමඟ පිහිටා තිබෙන වයඹ පළාතට අයත් නගරයකි.

    සංවර්ධනයේ මූලික සුදුසුකම් සපුරා ඇති තෝරාගත් නගර 100 සංවර්ධනය කිරීමේ දී ප්‍රධාන කරුණු කිහිපයක් යටතේ තෝරාගෙන ඇත.

    ඒ සෑම නගරයකම පොදුවේ දක්නට ලැබෙන අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම, අක්‍රමවත් පදික වේදිකා සකස් කිරීම, අලුත්වැඩියා කිරීම සහ අලුතින් ඉදිකිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම, අලුත්වැඩියා කිරීම හා අලුතින් ඉදිකිරීම, දැනට පවතින රථගාල් සංවර්ධනය කිරීම හා අලුතින් ඉදිකිරීම සිදුවෙයි.

    එසේම, අනවසර හා අක්‍රමවත්ව පවතින සියලු නාමපුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක් රෝපණය කිරීම, පොදු මහජන ගොඩනැගිලි, තාප්ප යනාදිය නවීකරණය කිරීම, මාර්ග සහ දිශා පුවරු එකම ආකාරයට පවත්වා ගැනීම, කුණු කසල එකතුවන ස්ථාන ආදිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද ඒ යටතේම සිදුවේ.

    තවද, අවිධිමත් ලෙස තැන් තැන්වල පවත්නා තාවකාලික වෙළෙඳ කුටි ඉවත්කර සුදුසු ස්ථානවල සුදුසු ලෙස ඒවා නැවත සකස් කිරීම, පැති බැමි සහ ආරක්ෂක වැටවල් ඉදි කිරීම වැනි ක්‍රියාකාරකම් ද මෙයට ම ඇතුළත් වේ.

    එම වැඩපිළිවෙළ තුළ අලංකාර සහ හිතකර ලෙස නගර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කිරීම සඳහා, එක නගරයකට රුපියල් මිලියන 20 ක් වන සේ නගර 100 සඳහා රුපියල් මිලියන 2,000 ක් වෙන් කර තිබේ.

    මෙම තත්ත්වයන්ට අදාලව ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළින් තෝරාගත් නගර 100 එම දිස්ත්‍රික්ක යටතේ වෙන් වෙන්ව මෙසේ දක්වා තිබේ.

     

    කොළඹ දිස්ත්‍රික්කයේ නගර 07 යි. කොටිකාවත්ත, හංවැල්ල, පාදුක්ක, ඇඹුල්ගම,කඩුවෙල, විද්‍යාල හංදිය සහ මොරටුව.

     ගම්පහ දිස්ත්‍රික්කයේ නගර 10 යි. පෑලියගොඩ, ඒකල, ඇවරියවත්ත, මිනුවන්ගොඩ, හේනේගම, මීරිගම, දිවුලපිටිය, ගණේමුල්ල, පූගොඩ සහ අත්තනගල්ල.

     කළුතර දිස්ත්‍රික්කයේ නගර 04 යි. හොරණ, නාගොඩ, දොඩංගොඩ සහ මීගහතැන්න

     හම්බන්තොට දිස්ත්‍රික්කයේ නගර 06 යි. වීරවිල, රන්න, චිත්‍රාගල, නෝනාගම, අගුණුකොළපැලැස්ස සහ ලුණුගම්වෙහෙර.

     මාතර දිස්ත්‍රික්කයේ නගර 06 යි. දෙයියන්දර, මොරවක, පිටබැද්දර, දෙණියාය, වැලිගම සහ කඹුරුපිටිය.

     ගාල්ල දිස්ත්‍රික්කයේ නගර 04 යි. කුමාරකන්ද, බෙන්තර අම්බලන්ගොඩ සහ හබරාදූව.

     රත්නපුර දිස්ත්‍රික්කයේ නගර 05 යි. කුරුවිට, අයගම, නිවිතිගල, ගොඩකවෙල සහ බලන්ගොඩ.

     කෑගල්ල දිස්ත්‍රික්කයේ නගර 04 යි. රඹුක්කන, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ මොරොන්තොට.

     කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගර 09 යි. කොබෙයිගනේ, අඹන්පොල, හිරිපිටිය, බිංගිරිය, අලව්ව, හෙට්ටිපොල, පන්නල, පොල්ගහවෙල සහ බම්බුක්කටුව.

     පුත්තලම දිස්ත්‍රික්කයේ නගර 03 යි. හලාවත, තෝප්පුව සහ පාලවිය.

     අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර 04 යි. තිරප්පනේ, එප්පාවල, කජුගොල්ලෑව සහ අනුරාධපුරය.

     පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නගර 04 යි. අරලගංවිල, මැදිරිගිරිය, වැලිකන්ද සහ ජයන්තිපුර.

     කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නගර 02 යි. කිලිනොච්චි සහ පූනරින්.

     යාපනය දිස්ත්‍රික්කයේ නගර 02 යි. මුරුතනාමඩම් සහ වෙලනායි.

     මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ද, වව්නියාව දිස්ත්‍රික්කයෙන් වව්නියාව ද, මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය යන නගර 03 තෝරාගෙන ඇත.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya