මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිසාගේ මූලික අයිතිවාසිකම්,ඡන්ද පොරොන්දු ලෙස විකුණාගෙන කන්න,කිසිම දේශපාලන පක්ෂයකට ඉඩදිය යුතු නෑ- විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

    ජූලි 27, 2021

    දෙවුන්දර මැතිවරණ කොට්ටාශයට අයත් කෝට්ටේගොඩ, හුන්නදෙනිය, රත්මලේ යන ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරමින්, වර්තමාන පාරිභෝගික ධාරිතාව ද ඉහළ නැංවීමේ අරමුණ ද පෙරදැරිව, රුපියල් මිලියන 39ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ සැලසුම් කළ ජලසම්පාදන යෝජනා ක්‍රමයෙහි ඉදිකිරීම් වැඩකටයුතු ආරම්භ කිරීම පසුගියදා විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා:

    මාතර දිස්ත්‍රික්කයේ ජලසම්පාදන කටයුතු වල හතරවන අදියර ආරම්භ කරන්නට සැලසුම් කළේ 2013 වසරේ දැයට කිරුළ වැඩසටහන ක්‍රියාත්මක වුණු කාලවකවානුවේදීයි. හැබැයි අවාසනාවකට 2014 දී ඉඳලා එය නවත්වා දමන්න අපට සිද්ධ වුණා. මේ වැඩ සටහන 2014 වසරේ ආරම්භ කර ක්‍රියාත්මක කරන්න ලැබුණානම් රත්මලේ, අකුරබැබිල, බතීගම බටහිර වැනි මේ ගම්මාන වල ජීවත්වන ඔබ තමුන්නාන්සේලාට පානීය ජල ගැටලුවට විසඳුමක් හම්බවෙන්න තිබුනේ 2014 දීයි. එක පෙරලියක් නිසාවෙන් මූලික අයිතිවාසිකමක් වන ජලය නොමැතිව වසර හයක කාලයක් තමුන්නාන්සේලාට බලාසිටින්නට සිද්ධ වුණා.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රකාශනයේ එතුමා ලියනවා, මේ රටේ සෑම පවුලකටම පානීය ජලය ලැබීම මූලික අයිතියක් කියලා, සෑම නිවසකටම විදුලිය ලැබිය යුතුයි කියලා, විදුලිය නම් අපි ගණන් හදලා බැලුවම ලංකාවේම විදුලිය නැතිව හිටියේ පවුල් එක්ලක්ෂ දහ අට දහසයි. හැබැයි පානීය ජලය එහෙම නෙවෙයි සියයට පනහකටයි පානිය ජලය තිබුණේ. ඒකියන්නේ පවුල් ලක්ෂ හැටක් තියෙනවානම් පානීය ජලය තිබුණේ එයින් පවුල් ලක්ෂ තිහකට පමණයි. ඒ නිසා රටේ මොන තත්වේ තිබුණත්, මේ දෙකට මුල්තැන දෙන්න කියලා ගෝඨාභය ජනාධිපතිතුමා කිව්වා.

    ඒ අනුව තවත් අවුරුදු දෙකක් ඇතුළත දෙවිනුවර, කඹුරුපිටිය, මාතර, වැලිගම, අකුරැස්ස මැතිවරණ කොට්ඨාසවල සෑම පවුලකටම පානිය ජලය ලබාදීමට කටයුතු කරමින් පවතිනවා. අපි ජනතා නියෝජිතයන් විදියට දේශපාලන බේදයකින් තොරව, අපේ ගෞරවය සහ ස්තූතිය ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට පිරිනැමිය යුතුයි. වතුරවලට දේශපාලනයක් නෑ. අපි විදුලිය දිහා බලන්නේ ජලය දිහා බලන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතියක් විදියටයි. ඒ නිසා යූඑන්පී එකට, ජේවීපී එකට, පොහොට්ටුවට, ටී.එන්.ඒ එකට ඡන්දේ දීපු නිසා වතුර දෙන්න බෑ, ලයිට් දෙන්න බෑ, කියපු වනචාරී දේශපාලනයක් මේ රටේ තිබුණා. ඒක අපි ඉතිහාසය තුළ වළදාලයි තියෙන්නේ.

    ඒ නිසා මේ ආණ්ඩුව ප්‍රශ්න දිහා බලන්නේ. ඡන්දදායකයාගේ ඡන්දය කාටද ප්‍රකාශ කරන්නේ කියන කාඑඅණ්‍ය මත නොවෙයි. ඒ නිසා මේ සියළු ප්‍රශ්නවලට උත්තර දෙන එක ආණ්ඩුවක් විදියට පවතින ආණ්ඩුවේ වගකීමක් වෙනවා. ඒ වගකිම ඉෂ්ඨ කරන්නට අපි බැඳී සිටිනවා.

    අපි නැවත බලයට ඇවිල්ලත් දැන් අවූරුද්දකුත් මාස හතරක පමණ කාලයක් වෙලත් අවාසනාවට කොවිඩ් නැමති විශ්වීය මාරයත් එක්ක පොරබදන්න සිද්ද වුණා. ඒ නිසා ඉස්සෙල්ලම මේ වසංගත තත්වයෙන් රට මුදවාගමු කියලයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. දැන් අපේ සම්පූර්ණ උත්සාහය වෙලා තියෙන්නේ අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකොට අවුරුදු තිහට වැඩි පුද්ගලයන්ටත් සැප්තැම්බර් මාසේ තිස්වැනිදා වෙනකොට අපි විශ්වාස කරනවා අවරුදු අහ අටෙන් ඉහළ, සමහර වෙලාවට උසස්පෙළ පංතියේ ඉන්න දූට පුතාටත් මේ එන්නත් ලබා දෙන්නට ඕනෑයි කියන එකයි සැලසුම් කරලා තියෙන්නේ, රටේ ආර්ථික අර්බුදයට වඩා අධ්‍යාපන අර්බුදය ගේ ඇතුලට දැනෙනවා. දරුවෝ ගෙවල් ඇතුලේ හිරවෙලා ඉන්නවා. එතැනින් ඔවුන්ව මුදවා ගන්න එක තාත්තලා විදියටත්, සහෝදරයෝ විදියටත් පාලකයෝ විදියටත් අපි හැම දෙනාගේම වගකීම වෙනවා. ඒ වගකීම අපි කැමැත්තෙන් බාරගෙන තිබෙනවා.

    හැබැයි තමුන්නාන්සේලා මැදහත්ව බලන්නට අවශ්‍යයි පහුගිය කාලේ මේ මහා වසංගත මාරයෙක් එක්ක සටන් කරමින් රට මේ තත්වෙන් වත් ඉදිරියට ගෙනගිය බව. අපි දැක්කා ඊයේ ලෝකේ ප්‍රධාන රාජ්‍යයන් ඇතුලේ අද ශ්‍රී ලංකාව වේගයෙන් එන්නත්කරණය සිදුකරන රටක් බවට පෙරට එනවා. සී එන් එන් නාලිකාව කිවුවා, මම දැක්කා ලෝකේ ධනවත්ම රටවල් අතරේ ඒ කියන්නේ ඒක පුද්ගල ආදායම ඩොලර් පනස්දාහට වැඩි රටවල විතරක් මේ කොවිඩ් වසංගතය නිසා රැකියා මිලියන විසිදෙකක් අහිමිවෙලා තියෙනවා කියලා. අපේ වගේ රටවල් ගැන කුමන කථා ද ? මේක තමයි ලෝකේ තත්වේ. ඒ සියළු දේ නිරවුල් කරගන්න නම්, අපි මේ කොවිඩ් මාරයා පරාජයට පත්කළ යුතුයැයි ද ඒ මහතා කීවේය.

    ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, දකුණු පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති නිලංග හෙන්දාවිතාරණ, දකුණු පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති ක්‍රිෂාලි මුතුකුමාරණ, දිකවැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති, කිත්සර මුතුකුමාරණ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්, ජල සම්පාදන මණ්ඩලයේ දකුණු පළාත් සාමාන්‍යාධිකාරී තුමා, ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරීන්, ඇතුළු ජනතා නියෝජිතයෝ හා රාජ්‍ය නිළධාරීන් අතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya