මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික සංවර්ධන අධිකාරියෙන් නගර 100 ක් සංවර්ධනය කිරීමට පියවර

    ජූනි 17, 2021

    * වසර ගණනාවක් තිස්සේ සංවර්ධනය නොවූ නගර 100 ක් මේ සඳහා තෝරා ගැනේ.

    * රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන් කෙරේ.

     නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රට පුරා නගර සියයක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    මීට අදාළ යෝජනාව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇති අතර වසර ගණනාවක් තිස්සේ නිසි සංවර්ධනයකට ලක්නොවූ නගර මේ යටතේ අලංකාර කර සංවර්ධනය කෙරෙනු ඇත.

    එක් නගරයක් සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 20 ක් වෙන්කෙරෙන අතර නගර 100 සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 2000 කි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ප්‍රධාන හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාවය අවම කර සියලු ජනතාව සඳහා සමාන නාගරික පහසුකම් ලබාදීම තුළින් එම ජනතාවගේ සමාජ, ආර්ථික අවශ්‍යතාවයන් ඉටු කිරීම අපේක්ෂා කෙරේ.

    විශේෂයෙන් රට පුරා විහිදී ඇති සමහර දෙවන හා තෙවන පෙළ නගර ඒවායේ කලක සිට පැවත එන අසංවිධින සංවර්ධනය හේතුකොට ගෙන ඉතා අපිළිවෙළ අවලක්ෂණ හා මහජනයාට පීඩාකාරී නගර ලෙස තවමත් පවතින අතර, එම නගර අලංකාර, ක්‍රමවත් හා මහජන හිතකාමී නගර ලෙස සංවර්ධනය කිරීමට නිසි වැඩපිළිවෙළක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක නොවීය.

    මෙම අපිළිවෙළ නගරවලින් බොහෝ නගර ක්‍රමානුකූල සැලැස්මකට හා වැඩපිළිවෙලකට අනුව සුළු පරිශ්‍රමයක් දැරීම තුළින් මහජනතාව සඳහා හිතකාමි ප්‍රසන්න නගර බවට පරිවර්තනය කිරීමට හැකියාවක් ඇත. ඒ ඒ නගර සඳහා අපරව්‍යුහ පහසුකම් සපයන රජයේ සියලු ආයතන ඒකාබද්ධව එම ආයතනවලින් සිදුකළ යුතු වැඩ කොටස් හඳුනාගෙන ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, වෙළෙඳ ප්‍රජාව හා මහජන සහයෝගය ද ඇතිව වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම තුළින් අපේක්ෂිත ඉලක්ක පහසුවෙන් ළඟා කරගත හැක. මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් “සියක් නගර” නමින් වැඩසටහනක් සැලසුම් කර ඇති අතර, රට පුරා විසිරී ඇති මෙවන් නගර සියයක් තෝරාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩිදියුණු කිරීම හා නගර ක්‍රමවත් කර අලංකරණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

    මෙවන් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් විය හැකි ප්‍රධානත ම ආයතනය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හඳුනාගත හැකි අතර, අධිකාරියේ රට පුරා විහිදී ඇති පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල මඟින් මෙම වැඩසටහන පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක.

    මෙහිදී මූලික වශයෙන් නගර මධ්‍යවල ඇති අනවසර ඉදිකිරීම් ඉදිකිරීම් ඉවත් කිරීම, පදික වේදිකා සකස් කිරීම/ අළුත්වැඩියා කිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කීරීම/ අලුත්වැඩියා කිරීම, රථගාල් ඇති කිරීම හා දැනට පවත්නා රථගාල් සංවර්ධනය කිරීම, අනවසර සහ අපිළිවෙල දැන්වීම් පුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක් රෝපනය, පොදු මහජන ගොඩනැගිලි තාප්ප ආදිය නවීකරණය කිරීම/ පින්තාරු කිරීම, මාර්ග දිශා පුවරු එකම ආකාරයකට සවිකිරීම, කුණු කසළ එකතු වන ස්ථාන සඳහා සුදුසු වැඩපිළිවෙළක් යෙදීම, වීදි ලාම්පු ආදිය ලබාදීම, බස් නැවතුම්පල, විවේක ස්ථාන ආදිය ඉදි කිරීම/ ප්‍රතිසංස්කරණය කිරීම, අවිධිමත් ලෙස තැන් තැන්වල පවත්වාගෙන යනු ලබන තාවකාලික වෙළෙඳ කුටි ඉවත් කර ඒවා සඳහා සුදුසු ස්ථානයක් හා සැලැස්මක් ලබාදීම, මාර්ග පිළිසකර කිරීම, පැති බැමි ආරක්ෂිත වැටවල් ආදිය ඉදිකිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම තුළින් අදාළ නගර අලංකරණය හා මහජන හිතකාමී පිළිවෙලක් සහිත නගර බවට පත් කිරීමට අදහස් කෙරේ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya