සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වැනි සැසිවාරය අමතයි

    අප්‍රේල් 26, 2021

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින වීඩියෝ පණිවුඩයක් මගින් එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) 77 වැනි සැසිවාරය ඇමතුවේය.

    අප්‍රේල් 26 සිට 29 දක්වා පැවැත්වෙන 77 වැනි සැසියේ තේමාව වී ඇත්තේ “ආසියානු හා පැසිෆික් කලාපීය සහයෝගීතාව තුළින් පෙරටත් වඩා සවිමත්ව අර්බුධයන් තුළින් නැවත නැගී සිටිමු” යන්නයි.

    කොවිඩ්-19 වසංගතය පිළිබඳ සාකච්ඡාව මෙවර සැසියේ ප්‍රධාන තැනක් ගන්නා අතර දේශගුණික විපර්යාස, ණය සහන, ආයෝජන, සමාන සෞඛ්‍ය ප්‍රවේශය, තිරසාර සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව වැනි කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් වේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සැසියේ ආරම්භයට එක්වෙමින් කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ආයුබෝවන් !

    එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වැනි සැසිවාරය ඇමතීමට ලැබීම ගැන මම සතුටුවෙමි.

    වර්තමානයේ පවතින අභියෝග හමුවේ වුවද මෙම සැසියට එක්වීමට ලැබීම අපට ඉතා වැදගත්වෙනවා.

    වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය හා සමාජ තත්ත්වය නැවත ගොඩනැගීම සඳහා අප සැවොම උපාය මාර්ගික සැළසුම් සකස් කරමින් සිටින කාලවකවානුවක මෙවර සැසියේ තේමාව ඉතා කාලෝචිත හා වැදගත් වන බවයි මගේ විශ්වාසය.

     

    පසුගිය කාලයේ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමේ දී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත්තා.

    විශේෂයෙන් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම, ඔවුන්ගේ සබඳතා ඔස්සේ නිරෝධායන ක්‍රියාවලිය පවත්වා ගෙන යෑම, නිරෝධායනය සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා අවම මරණ අනුපාතයක් පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා.

    ශ්‍රී ලංකාවේ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාරි වුණා. ශ්‍රී ලාංකේයන් ලක්ෂයක් එන්නත් කිරීමට අප රජයට පසුගිය පෙබරවාරි මාසයේ දී හැකි විය.

    මෙම පසුබිම මත වසංගත තත්ත්වය හමුවේ වුවද ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ආර්ථික ක්‍රියාකාරකම් අඛන්ඩව පවත්වා ගැනීමට අප ක්‍රියාකළා. ඒ වගේම අපනයන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක කරමින් සංචාරක ව්‍යාපාරය පසුගිය ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කිරීමටත් අපට හැකිවුණා. ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට ණය සහන ලබා දෙමින් ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා.

    මේවනවිටත් අපගේ රජය ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි කැපවීමක නිරතව සිටිනවා. ඒ සඳහා මාගේ නායකත්වයෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා වූ අන්තර් අමාත්‍ය මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබෙනවා.

    2021-2030 නිපුණතා සංවර්ධන දශකය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන නිසා අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉතා වැදගත් තැනක් තරුණ තරුණියන්ට හිමිවෙනවා.

    කලාපීය සබඳතා ශක්තිමත් කිරීමටත් අප උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වගේම දකුණ- දකුණ( “South-South”) සහයෝගිතාව වේගවත් කිරීමේ අවශ්‍යතාව අප අවධාරණය කරනවා.

    ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාමාර්ග ගනිමින් ඊට ප්‍රතිචාර දැක්විය යුතුයැයි අපි විශ්වාස කරන්නෙමු.

    • වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින කුඩා රටවල්වලට එම තත්ත්වයෙන් අත්මිදීම සඳහා
    එන්නත්කරන වැඩසටහනට සහයවීම

    • විදේශ රැකියා අවස්ථා වැඩිදියුණු කරමින් ඊට දිරිමත් කිරීම

    • පාරිසරික හා සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම
    සහ

    • සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජනයන් සඳහා දිරිමත් කිරීම සහ ඔවුන්ට වෙළඳ පොළ සොයාදීම

     

    ඒ අතර ඉතා වැදගත් වෙනවා. අවසන් වශයෙන් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නැවත නැගී සිටීම වෙනුවෙන් ඉතා කාලෝචිතව මෙම සැසිය සංවිධානය කරමින් සමාජික රටවල් එක් වේදිකාවකට ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම ක්‍රියා කිරීම අප බෙහෙවින් අගය කරනවා.

    සැසියේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවා ! යැයි ද ප්‍රාර්ථනා කරනවා.

    ස්තුතියි !

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya