මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වේදිකා නාට්‍ය කලාකරුවන් වෙනුවෙන් රජයේ වියදමෙන් රක්ෂණාවරණයක් ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

    මාර්තු 17, 2021

    වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් රජය රක්ෂණ වියදම් ගෙවමින් “ප්‍රේක්ෂා” රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 16 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

     

    “ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අනාවරණය කළේය.


    ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ ටවර් හෝල් රඟහල පදනම එක්ව සංවිධානය කළ මෙම “ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය “ජනශක්ති” රක්ෂණ සමාගම ඔස්සේ ක්‍රියාත්මක වේ.


    ඒ අනුව සාමාජිකයෙකුගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක්, හදිසි අනතුරකින් වන මරණයක දී රුපියල් ලක්ෂ හයක්, පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයක දී රුපියල් ලක්ෂ හතරක්, අසාධ්‍ය රෝග ආවරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක්, මුදල් රහිත රෝහල්ගතවීමේ ප්‍රතිලාභය වසරකට උපරිම රුපියල් එක්ලක්ෂ පනස් දහසක්, බාහිර රෝගී අංශ ප්‍රතිකාර සඳහා වසරකට රුපියල් පහළොස් දහසක් දක්වා මුදල් රක්ෂණාවරණයකට මෙමඟින් හිමිකම් ලැබෙනු ඇත.


    ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් ප්‍රකාශිත “කලා සඟරාව” හා “බුද්ධ ප්‍රතිමා නිර්මාණ කලාව” කෘතීන්හි මුල් පිටපත් මෙහි දී ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා විසින් අග්‍රාමාත්‍යතුමාට පිරිනැමුවේය.


    “ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කලා කරුවන් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා අතින් මෙහි දී සංකේතාත්මකව රක්ෂණාවරණ හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරිණි.

    අග්‍රාමාත්‍යතුමා එහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.


    මම සභාපතීත්වය දරණ ටවර් හෝල් රඟහල පදනම ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව පිළිබඳ, නාට්‍යවේදීන් පිළිබඳව කටයුතු කරනු ලබන ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතත්වය දරණ ආයතනයක්. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සමස්ත ලෝකවාසීන් මහා ව්‍යසනයකට ගොදුරුව ඇති අවස්ථාවක සියලු කලා මාධ්‍යන්හි නියුතු ශිල්පීන් සහ එම කලා මාධ්‍යන් දැඩි අර්බුදයකට ලක්ව තිබුණා.
    එවැනි අවස්ථාවක ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ඉල්ලීම සලකා බලමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා සහන පොලියක් මත රුපියල් ලක්ෂ 5ක ණය මුදලක් ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමට අපට හැකිවීම පිළිබඳව මම සතුටට පත් වෙනවා.
    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ටෙලි නාට්‍ය රූගත කිරීම් නැවතී තිබුණ අවස්ථාවේ නිරෝධායන නීති රීති සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ටෙලි නාට්‍ය රූගත කිරීම සඳහා අපි අවස්ථාව ලබා දුන්නා.
    එම හේතුවෙන් එම ටෙලි නාට්‍ය අඛණ්ඩව රූගත කිරීමට අවස්ථාව ඔවුන්ට උදා වුණා.මෙම කොවිඩ් අර්බුදය හමුවේ වේදිකා නාට්‍යවේදීන්ට තම නාට්‍ය නිර්මාණ වේදිකාගත කිරීමට අවස්ථාවක් ලැබු‍ණේ නැහැ. ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් රංග ශාලාවලින් ඈත්ව සිටින අවස්ථාවක ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කළ ප්‍රේක්ෂා රංගකලා මහෝත්සවය තුළින් නාට්‍යවේදීන්ට, රංගන ශිල්පීන්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ට, තම ජීවිත යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයක්.


    ඒ තුළින් නාට්‍ය කලාවේ නව පිබිදීමක් ඇති වුණා කියලා ඔබ සියලු දෙනා දන්නවා. දෙවන කොවිඩ් වසංගතය හමුවේ, නැවත් සියලු කලාවන් බිදවැටුණු අවස්ථාවක ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉතාමත්ම පහත් තත්ත්වයන්ට බිද වැටුණා. එවැනි අවස්ථාවක මෙම ප්‍රේක්ෂා රක්ෂණාවරණය හඳුන්වා දෙමින් නාට්‍යවේදීන් 500 දෙනෙකු සඳහා රජයේ සම්පූර්ණ වියදමින් මෙම රක්ෂණාවරණය අපි හඳුන්වා දුන්නා. රජය විසින් රක්ෂණ වියදම් ගෙවා ලබා දෙන මෙම ප්‍රේක්ෂා රක්ෂණාවරණය ලබා දෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවතාවට.එය සුවිශේෂී රක්ෂණාවරණයක්. රෝගාබාධයකදී ලබා ගන්නා ප්‍රතිකාර මෙන්ම රෝහලක නැවතී ලබා ගන්නා ප්‍රතිකාර සඳහා, ද මේ මඟින් ප්‍රතිලාභ හිමි වෙනවා. හදිසි මරණයකදී ඔවුන්ට විශේෂිත සහනයක් ලබා දෙන මෙම රක්ෂණාවරණය, සුවිශේෂී රක්ෂණාවරණයක්. මේ තුළින් රැකවරණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව පෝෂණය කිරීමට ඔබට ශක්තිය ධෛර්ය හා නිරෝගී සුවය ලැබේවායි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.


    එමෙන්ම මෙම ප්‍රේක්ෂා රක්ෂණාවරණය ලබාදීම සඳහා මූලිකව කටයුතු කළ ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී, ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමාටත්, එතුමාගේ අමාත්‍යංශ කාර්යය මණ්ඩලයටත්, ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකාවන්ටත්, ටවර් හෝල් රඟහල පදනමේ කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත්, මෙම රක්ෂණාවරණය ලබා දෙන ජන ශක්ති ආයතනයටත් මම මගේ ස්තූතිය මෙයින් පුද කරනවා.

    ඔබට සුභ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.


    ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රි ලංකා කලා මණ්ඩලයේ උප සභාපති පාතේගම ඥාණිස්වර ස්වාමීන් වහන්සේ මෙම උත්සව සභාවට වැඩම කළහ.
    ජාතික උරුමයන් ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කේ. ඒ සී. ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ඩග්ලස් සිරිවර්ධන, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ, ජනශක්ත රක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ, ඇතුළු අමාත්‍යාංශය නිලධාරීන් ටවර් හෝල් රඟහල පදනමේ සාමාජිකයන්, ජනශක්ති රක්ෂණ ආයතනයේ නිලධාරීන් සහ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලා කරුවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya