මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස 384 කින් සමන්විත පෑලියගොඩ නිවාස සංකීර්ණයේ වැඩ ඇරඹේ

    ජනවාරි 07, 2021

    ජනපතිගේ හා අගමැතිගේ උපදෙසින් නිවාස 384 කින් සමන්විත පෑලියගොඩ නිවාස සංකීර්ණයේ වැඩ ඇරඹේ.

    * අධිවේගී මාර්ග, තොග වෙළඳ සංකීර්ණය ආසන්නයේ නිවාස ව්‍යාපෘති ඉදිකෙරේ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් ක්‍රියාත්මක වන “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන තුළ සතුටින් පිරි පවුලක් ගොඩනැගීම සඳහා අවශ්‍ය වන නිවාස ඉදිකිරීමේ තවත් එක් අදියරක් පෑලියගොඩ දී  (05) දින ආරම්භ කෙරිණ.

    මෙම අඩුආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් දියත් කෙරෙන මෙම වැඩපිළිවෙල අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටියදි ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.

    එහිදි කරනු ලැබූ සමීක්ෂණයක දී කොළඹ නගරය තුළ පැල්පත් 68,894 ක් හඳුනාගෙන තිබිණ. 2015 වන විට එම පැල්පත් නිවාසවලින් 18,000 ක් ඉලක්ක කරගෙන නිවාස ගොඩනැගීමට කටයුතු කළ අතර 2015 වසරෙන් පසුව එම ව්‍යාපෘතිය ඇණ හිටීම නිසා ඉතිරි පැල්පත්වාසීන්ට නිවාස හිමි නොවීය.

    මෙම නිවාස ගොඩනැගෙන පෑලියගොඩ නගරය සියළු අධිවේගී මාර්ග එකට එක්වන ස්ථානයක් වීම විශේෂත්වයකි. ඊට අමතරව නව මැනිං වෙළඳපොළ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට ඇතුළු ආර්ථික මරමස්ථාන කිහිපයක් ම මෙම නිවාස ව්‍යාපෘතිට ආසන්නයේ පිහිටා ඇත.

    මෙම අවස්ථාවට එක් වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ආර්ථිකය පණ ගැන්වීම සඳහා ද මේ නිවාස ව්‍යාපෘතිය ඉවහල් වන බවයි.

    “අද මගේ අමාත්‍යාංශය දිහා බැලුවොත් පහුගිය වසරක කාලයක තිස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ මේ අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. සිරිනිමල් පෙරේරා මැතිතුමා මේ අමාත්‍යාංශයට ඇවිල්ලා මාස පහක් වෙනවා. ඒ මාස 05 ක කාලය තුළ අපි මේ වැඩපිළිවෙළ තවත් වේගවත් කළා. අපේ අමාත්‍යාංශයට අයත් සෑම ක්ෂේත්‍රයකම නගර අලංකරණය වෙනවා. නිවාස සෑදීම, වැසි ජලය පාලනය කිරීම, රට පුරා තිබෙන ලෝක බැංකු ව්‍යාපෘති අතරමග නතර වෙලා තිබූ සෑම ක්ෂේත්‍රයක් ම අපි විශාල වැඩ කොටසක් කරල තියෙනවා. මේ ව්‍යාපෘතියෙන් කොපමණ වෙනසක් වෙනව ද බලන්න මේ රටේ. කොරෝනා එන්නට පෙර පසුගිය රජය අකාර්යක්ෂමතාවය නිසා කඩන් වැටිලා තිබුණේ. කඩන් වැටිලා තිබිච්ච ආර්ථිකයක් පණගන්වන්නට මොකද කරන්නට ඕනේ. දළ ජාතික නිෂ්පාදනය වැඩි කරන්නට ඕනේ. දළ ජාතික නිෂ්පාදනය කියන්නේ ගනුදෙනුවල එකතුවක්. ආර්ථිකය සක්‍රීය වෙන්න ඕන. මුදල් සංසරණය වෙන්න ඕන. මොකද එතකොට තමයි ආර්ථිකය පණ ගැන්වෙන්නේ. සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා, තවත් බොහෝ ව්‍යාපාර කඩාගෙන වැටිලා, මිනිස්සුන්ට රැකියා නැති වෙලා ඉන්නකොට අපි මොනවද කරන්නේ. අපි විශාල වශයෙන් මුදල් වියදම් කරලා ව්‍යාපෘති පටන් ගන්නවා. උතුරේ සිට දකුණට හැම තැනම. අපි ව්‍යාපෘති පටන් ගන්නකොට රාජ්‍ය අංශයේත්, පෞද්ගලික අංශයේත් කොන්ත්‍රාත් දෙනකොට වැඩ කරන්න ඒ කොන්ත්‍රාත්කරුවන්ට අවස්ථාව ලැබෙනවා. රැකියා අවස්ථා ලබා දෙන්නට රැකියා ලක්ෂ ගානක් බිහිවෙනවා මේ ව්‍යාපෘති හරහා. සෘජු සහ වක්‍ර ආකාරයෙන්. ගෙවල් 3,000 ක් කියලා කියන්නේ කෝටි 4,000 ක අද ආයෝජනයක් අපි කරනවා මේ ආර්ථිකයට. ඒ මොකද දන්නවද අපේ කර්මාන්තකරුවන් හරහා අපේ කොන්ත්‍රාත්කරුවන් හරහා ආර්ථිකය නිදහස් වෙනවා. ඒ මොකද මුදල් පාවිච්චි කරනකොට ඔබේ වැටුප් ගෙවන කොට ඒ වැටුප් ගන්න මිනිහා ගමට ගිහිල්ලා ගමේ සල්ලි වියදම් කරනවා. ගමේ සිල්ලර කඬේට සල්ලි එනවා. ඒ විදිහට තමයි මුදල් සංසරණය පටන් ගන්නේ. අපේ අමාත්‍යාංශය විතරක් නෙමෙයි මේ රජය විශාල සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. මාර්ග 100,000 ක් ඉදිවෙනවා. පාලම් 10,000 ක් ඉදිරියට හැදෙනවා. අපි මහල් නිවාස පැල්පත්වාසීන් සඳහා නිවාස පටන් ගත්තා මේ අවුරුද්දේ 7,000 ක් 8.000 කට වඩා. පසුගිය ආණ්ඩුව පටන් අරන් තිබුණේ 450 යි. ඒක ඉවර කරලා තිබුණෙත් නෑ. මධ්‍යම ප්‍රාන්තික නිවාස අලුත් සංකල්පයක්. මේ අපි හදන්නේ තරුණ පරපුරටත් තරුණ පවුල්වලටත්. ඒ අයට වසර ගණනාවක් යනකං නිවාසයක් ගැන හිතන්නවත් බෑ. ඒ සිහිනය සැබෑ කරගන්න බෑ. පෞද්ගලික අංශයේ නිවාසයක් ලබා ගන්නවාට වඩා 30% ක 40% ක වියදම අඩුවෙන් අපිට හොඳ තත්ත්වයෙන් නිවසක් මේ තරුණ පවුලට ලබා දෙන්න පුළුවන්. මේ 3,000 න් අපි නතර වෙන්නෑ. අපි දැනට මුදල් අනුමත කරල තියෙන්නෙ ගෙවල් 5,000 කට. ඒ කියන්නේ කෝටි 6,000 කට. 6,000 කට තමයි අපේ කැබිනට් මණ්ඩලයෙන් මුදල් අනුමත වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඉස්සරහට යනවා. අපේ ව්‍යාපෘති වලින්, අපේ ආයතනවලින් මුදල් එනකොට අපි ඒවා ආයෝජනය කරනවා. අපි පැල්පත්වාසීන් කිසිසේත්ම අමතක කරන්නේ නැහැ. අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැල්පත්වාසීන් 50,000 කට නිවාස දීමේ ව්‍යාපෘතියක් පටන් අරගෙන තිබුණා. අපි ඒ ව්‍යාපෘතිය ගෙනියනවා පමණක් නොවෙයි ඒවා අපි කොළඹින් එළියට ගෙනල්ලා කොළඹට සීමා කරන්නේ නැහැ. අපි මේ හෙට අනිද්දම මේ ළඟපාතකම ගෙවල් 600 ක ව්‍යාපෘතියක් පටන් ගන්නවා චීන ආධාර යටතේ. මේ පෑලියගොඩ අයටත් අපි කොළඹ කරා වගේම හොඳ නිවාස හදලා දීලා ඒ ආකාරයෙන් අපි කරනවා. කොළඹට පමණක් සීමා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ගෙන් ම ඉල්ලා සිටිනවා 2021 වසර දිහා අපි සුබවාදීව බලමු. අපි හැම කෙනෙක්ටම පුළුවන් උපරිම ශක්තියෙන් මේ රට ගොඩනගන්න බලමු. හිරෝෂිමා නාගසාකිවලට බෝම්බ දාලා ඒ රටවල් අලුවෙලා ගියාම ඒ රටවල් යළි ගොඩ නැඟුවේ ඒ රටේ ජනතාව. අපි යුද්දේ ඉවරවෙලා මේ රට ගොඩනගන්න පටන්ගත්තාම අවාසනාවකට වගේ අපේ රටේ මිනිස්සුන්ට ඉවසන්න බැරි නිසා ඒත් අඳුරු අවුරුදු 05 කට ආපස්සට ගියා. පසුගිය වසරේ කොරෝනා ප්‍රශ්නය තිබුනට අපේ රටේ විශාල වැඩ වැඩ කොටසක් සිද්ධ වුණා. ඒවා ගැන කතා කළේ නැහැ.

     

    යනුවෙන් ද නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා ප්‍රකාශ කළේ ය.

    මෙම උත්සව අවස්ථාවට එක් වූ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ, තරුණ වෘත්තිකයන් වෙනුවෙන් මෙවැනි නිවාස ඉදිකිරිම මඟින් ඔවුන්ගේ ජීවිත සවිබල ගැන්වීමක් සිදුවන බවයි.

    “සියළු අධිවේගී මාර්ග එකට එකතු වෙන තැන, කැලණිය විශ්වවිද්‍යාලය, විද්‍යාලංකාර මහ පිරිවෙන, කැලණිය රජමහා විහාරය, කැලණි ගඟ මේ සියල්ලම කේන්ද්‍රීය කරගත් නගරයක් තමයි පෑලියගොඩ නගරය. මේ යෝජනා ක්‍රමය මධ්‍යම ප්‍රාන්තික නිවාස ක්‍රමයක් වුණත් අපි ඉතාමත් අගය කරනවා. මේ ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ පැලියගොඩ ගමේ ජනතාවට, නගරයේ ජනතාවට ලබා දෙන්න කියන ඉල්ලීම අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා හිටිනවා. පැලියගොඩ මාළු මාකට් එක තියෙනවා. එළවළු මාකට් එක තියෙනවා. මේ ගමේ මිනිස්සුන්ට යම් ආර්ථිකයක් ලැබෙන වැඩපිළිවෙලකට නගර සංවර්ධනය සහ නිර්මාණය එකට එකතු වුණේ නැත්නම් ඒ ජයග්‍රහණය රටේ ජනතාව අතර සමසේ බෙදෙන්නේ නැහැ. හොඳට ඉගෙන ගත් තරුණයෝ ඉන්නවා. හොඳ දක්ෂ තරුණයො ඉන්නවා. ඒ තරුණ ජිවිතවලට යම්කිසි ආලෝකයක් අවශ්‍යයි. මෙන්න මේ කාරණා තමයි ගැඹුරින් සැලකිල්ලට ගන්න ඕන කාරණා.”යනුවෙන් ද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ ය.

    මෙහිදී මෙම උත්සව සභාව ඇමතූ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, මධ්‍යම ප්‍රාන්තිකයන්ගේ නිවාස ප්‍රශ්නය මෙන් ම සුළු ආදායම්ලාභීන්ගේ නිවාස ප්‍රශ්නය පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධාණය යොමු වී ඇති බවයි.

     

    “ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව රට සෞභාග්‍යයමත් කිරීමේ දී එතුමාගේ සංකල්ප 10 න් ප්‍රධානතම එකක් තමයි සතුටින් පිරි පවුලක්. සතුටින් පිරි පවුලක් හැදෙන්න නම් අවශ්‍ය දේවල් රාශියක් තියෙනවා. එයින් මූලිකම දේ තමයි ඒ අයට නිවහනක් ලැබීම. නිවාසයක් කියන්නේ අයිතියක්. ඒ අනුව ජනාධිපතිතුමාගේ ඒ සංකල්පය යටතේ අද මධ්‍යම ප්‍රාන්තිකයන්ගේ මේ නිවාස ප්‍රශ්නය විසදීමට පියවර ගත්තේ. සුළු ආදායම්ලාභීන්ගේ නිවාස ගැන තමයි ජනාධිපතිතුමා මූලික අවධානය දුන්නේ. ඒ අනුව 2011 ඉදලා 2015 වෙනකන් අපි ඒ අයව පදිංචි කරලා තියෙනවා 18,000 කට ආසන්න වශයෙන්. ඒ ඔක්කොම මේ අවටයි අපි ක්‍රියාත්මක කළේ. ඒ වගේ පැල්පත් නිවාස 68,894 ක් තිබුණා. ගිය රජය යටතේ නිවාස හැදුනේ 450 ක් පමණයි. ඒ අවුරුදු 05 තුළ ඉදිකළේ එපමණයි. අපි ඉතා කණගාටුවෙන් මේ දේ කිව යුතුයි. අපේ ජනාධිපතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වෙලා ඉන්න කොට තමයි හොයා ගත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පැල්පත් කීයක් තියෙනවද කියලා. අපි, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් යොදවලා කළ සමීක්ෂණයකින් තමයි මේ පැල්පත් නිවාස 68,894 හොයා ගත්තේ. මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා ඇපල් වත්තේ ඔවුන් වෙනුවෙන් නිවාස 700 ක් ඉදිකෙරෙනවා. තව නිවාස 25,000 ක් හැදුණොතින් මං හිතනවා කොළඹ නාගරික ප්‍රදේශවලින් ඒ පැල්පත් ඉවත් කිරීමේ කටයුත්ත අපිට නිම කරන්න පුළුවන් කියලා. ඒ එක්කම විශේෂ උනන්දුවක් දක්වන්න ඕන ජනාධිපතිතුමාගේ මේ මධ්‍යම ප්‍රාන්තිකයන්ගේ නිවාස ගැන. අපි පත්තරවල පවා පළ කළා අවුරුදු 18 ත් 45 ත් අතර වෘත්තිකයින්ටයි මේ නිවාසවල මුල් තැන දෙන්නේ කියලා. ඒ අතරින් ගුරුවරු, බැංකු ක්ෂේත්‍රයේ ඉන්න අය, පත්වීම් ලැබීමට ඉන්න වෛද්‍යවරු, රජයේ උසස් නිලධාරීන්, ඒ සියළුම දෙනාගේ ම නිවාස ප්‍රශ්නය විසඳීම තමයි අපගේ අරමුණ වෙන්නේ. අද මෙතන ගෙවල් 384 ක් ඉදිවෙනවා. මේ සියල්ල ම ඉටු වෙන්නේ මධ්‍යම ප්‍රාන්තිකයන් වෙනුවෙන්. ගෙවල් 5,000 ක් අවුරුද්දක් ඇතුළත. පටන් ගත්ත දා ඉඳන් අවුරුද්දක් ඇතුළත මේ ගෙවල් සාදා නිම කිරීමයි ජනාධිපතිතුමාගේ එකම අරමුණ වෙන්නේ.යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සමස්ථ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමේ කටයුතු අධික්ෂණය කරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya