මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව බිම්ස්ටෙක්හි දී විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අංශයේ මූලිකත්වය ගෙන කටයුතු කරයි

    මාර්තු 05, 2020

    බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ දී (BIMSTEC) විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන අංශයට ශ්‍රී ලංකාව මූලිකත්වය ලබාදෙනු ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ අනුව, තාක්ෂණය මාරුකිරීම සඳහා වූ බිම්ස්ටෙක් පහසුකමක් අනාගතයේ දී ශ්‍රී ලංකාවේ දී විවෘත කිරීමට සැලසුම් කරනු ලැබේ. එමෙන්ම, මෙම වසරේ ජූනි මාසයේ දී, ශ්‍රී ලංකාව, බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය සඳහා අධ්‍යක්ෂවරයෙකු ද පත්කරනු ඇත.


    (03) දිනයේ දී විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ සභාපතිත්වය යටතේ පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ (SoM) 20 වැනි සැසිවාරයේ දී බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර සහයෝගීතා ක්ෂේත්‍ර පිළිබඳ කටයුතු නිමා කරන අතරවාරයේ දී මෙසේ එකඟතාවයට පත්වන ලදී. මෙම සැසිවාරයට ප්‍රථමයෙන්, එනම් පසුගිය 2020 මාර්තු 01 හා 02 දිනවල දී, අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) පී.එම්. අම්සා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව නිත්‍ය ක්‍රියාකාරී කමිටු 03 වැනි රැස්වීම (BPWC) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී  පවත්වන ලදී.


    මෙහි දී විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන පිලිබඳ ක්ෂේත්‍රය පිළිබඳව මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට බලය පැවරෙන අතර, මෙම ක්ෂේත්‍රයට තාක්ෂණය,සෞඛ්‍ය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ සහයෝගීතාව ද ඇතුළත් වේ. වෙළඳ, ආයෝජන හා සංවර්ධනය පිළිබඳව බංග්ලාදේශයටත්,  පරිසරය හා දේශගුණික විපර්යාස පිළිබඳව භූතානයටත්, කෘෂිකර්මය හා ආහාර ආරක්ෂණය පිළිබඳ මියන්මාරයටත්, ආරක්ෂාව (ත්‍රස්තවාදය හා දේශසීමා ඉක්මවා සිදුකරන අපරාධ මැඩපැවත්වීම, ආපදා කළමණාකරණය සහ බලශක්තිය) පිළිබඳව ඉන්දියාවටත්, පුද්ගලාන්තර සබඳතා (සංස්කෘතිය, සංචාරක කටයුතු, විද්වත් මණ්ඩල සංසද, මාධ්‍ය ආදිය) පිළිබඳව නේපාලයටත් සම්බන්ධකතාවය පිළිබඳව තායිලන්තයටත්, මූලිකත්වය ගෙන කටයුතු කිරීමට බලය පවරනු ලැබ තිබේ. බිම්ස්ටෙක් ප්‍රඥප්තිය, බිම්ස්ටෙක් කලාපීය සහයෝගීතා ක්‍රියාවලිය ඵලදායී ලෙස මෙහෙයවීම සඳහා වූ ආයතනික යාන්ත්‍රණය වන අතර, එහි කටයුතු අවසන් කරන ලදී. මෙය 05 වැනි බිම්ස්ටෙක් සමුළුවේ දී සම්මත කරගැනීමට අපේක්ෂා කෙරේ.

     

    ශ්‍රී ලංකාව සභාපතිත්වය බාරගැනීමෙන් අනතුරුව වසර 20 ක් පැරණි මෙම සංවිධානය යළිත් පණගැන්වීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමේ 20 වැනි සැසිවාරයේ සභාපතිත්වය උසුලමින් විදේශ ලේකම් ආර්යසිංහ මහතා ප්‍රකාශ කළේය. 

     

    මෙම සන්දර්භය හමුවේ, බිම්ස්ටෙක් ප්‍රඥප්තිය, බිම්ස්ටෙක්හි අනාගත කාර්ය කටයුතු කෙරෙහි අවධානය යොමු කරන හෙයින් බිම්ස්ටෙක් ප්‍රඥප්තියේ කටයුතු අවසන් කිරීම සහ නිශ්චය කරන ලද සහයෝගීතා ක්ෂේත්‍ර සාමාජික රටවල් සඳහා වෙන්කිරීම තුළින් ආයතනික වශයෙන් ගොඩනැගීමේ අවශ්‍යතාව කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමුකර තිබුණි. මෙම වසරේ අග භාගයේ දී මෙහි සභාපතිත්වය තායිලන්තයට බාරදීමට නියමිත බවත්, වෙළඳ, ආයෝජන, තාක්ෂණ, සම්බන්ධකතා යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා මාර්ග පිළිබඳව සමුළුවට පෙර කටයුතු අවසන් කිරීමට  ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දැක්වූ බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.


    බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් තානාපති ෂාහිදුල් ඉස්ලාම් මැතිතුමා, අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ බිම්ස්ටෙක් සම්මුතියේ සහ බිම්ස්ටෙක් තාක්ෂණික හුවමාරු පහසුකම් පිහිටුවීම පිළිබඳ සහයෝගිතා ගිවිසුමේ කටයුතු නිම කිරීමට අමතරව, 2019 අපේ‍්‍රල් මාසයේ දී බිම්ස්ටෙක් ජාල සම්බන්ධතාව ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව ද ප‍්‍රශංසා කළේය.

     

    වඩාත් පුළුල් සහයෝගීතාවයක් සඳහා ආංශික රැස්වීම්වල වැදගත්කම අවධාරණය කළ එතුමා, මෙම කටයුතු සඳහා මෙන්ම බිම්ස්ටෙක් නිදහස් වෙළඳ ප්‍රදේශය පිළිබඳ සාකච්ඡා සඳහා ද සියලු සාමාජික රටවල සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

     

    2018 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් හි සභාපති ධූරයේ රාජකාරි භාරගත් අතර, එතැන් සිට ස්ථිර ක්‍රියාකාරී කමිටු රැස්වීම් තුනක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමක් තුළින් මෙම සංවිධානය ඵලදායී ලෙස වැඩිදියුණු කිරීමට පහසුකම් සපයා ඇත.

     

    බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සැකසීමේ  කටයුතු නිම කිරීමට අමතරව, අංශ තාර්කිකකරණය කිරීම සහ බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යයන/පුහුණු ආයතන අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සහ ආංශික හා ආයතනික පරිපාලන කටයුතු පිළිබඳව ද රැස්වීම්වල දී සාකච්ඡා කරන ලදී.

     

    මෙම වසර අග දී පැවැත්වෙන 17 වැනි අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහ 21 වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමට පසුව පැවැත්වෙන 05 වැනි බිම්ස්ටෙක් සමුළුව සඳහා ශ්‍රී ලංකාව සූදානම් වෙමින් සිටියි.

     

    ශ්‍රී ලංකා දූත පිරිස, ආර්ථික කටයුතු පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් (බහුපාර්ශ්වික) අන්සුල් ජාන්, නියෝජ්‍ය නීති උපදේශිකා තිලානි සිල්වා, ආර්ථික කටයුතු අධ්‍යක්ෂිකා ශෂිකා සෝමරත්න, නීති නිලධාරිනී සකුන්තලා රාජමන්ත්‍රී සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ විධායක සහකාර කලනි ධර්මසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya