සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සංවර්ධන ක්‍රියාවලියේදී ගණකාධිකාරි සේවය දැවැන්ත කැපකිරීමක නිරත වෙනවා

    මාර්තු 02, 2017

    රටේ සංවර්ධන ක්‍රියාවලියේදී වසරකදී බිලියන ගණනක වැඩකටයුතු අවසන් කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ ගණකාධිකාරි සේවය දැවැන්ත කැපකිරීමක නිරත වෙනවා යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ ශ්‍රි ලංකා ගිණුම්කරණ ශිල්පීන්ගේ සංගමය මගින් පවත්වනු ලබන පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 750 ක් සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

     

    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    "බ්‍රිතාන්‍ය ප්‍රමීතීන්ට අනුකූල ලෙස මෙම පාඨමාලාව ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.30 වැනි වසරට පා තබන විට ඒ.ඒ.ටී.පාඨමාලාව අවසන් කළ විශාල පිරිසක් විවිධ ක්ෂේත්‍ර වල රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙහෙයවීම සඳහා දායකත්වයක් දක්වනවා. ඒ කැපකිරීම ඉටු කිරීමට අවශ්‍ය පිරිස තමයි අද මේ ශාලාවෙන් පිට වෙලා යන්නේ.

    මම 2001 දී රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ලෙස සිටියදී සේවාවන් කිහිපයක් ඒකාබද්ධ කර කළමනාකරණ සේවය නිර්මාණය කළා.එය නිර්මාණය කිරීමට හේතු වූ කරුණු රැසක් තිබුණා.සේවාවන් 9 ක් පමණ එකට එකතු කර, 2002 දී මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. දැන් ඒ අනුව එය ලංකාවේ නව සේවාවක් බවට පත් වුණා.ගණකාධිකාරි සේවාවට වෙනම උදව් කණ්ඩායමක් අවශ්‍ය බව සභාපතිතුමාගේ කථාවේදී සඳහන් කළා. ඒ පිළිබඳව රජයක් ලෙස අපට කල්පනා කර බලන්න පුළුවන්.රටේ සංවර්ධන ක්‍රියාවලියේදී වසරකදී බිලියන ගණනක වැඩකටයුතු අවසන් කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ ගණකාධිකාරි සේවය දැවැන්ත කැපකිරීමක නිරත වෙනවා.

     

    පසුගියවර අග්‍රාමාත්‍යතුමා මෙම උත්සවයට සහභාගි වුණා. මෙම සේවාවෙහි ස්ථාවරත්වයන් ඇති කිරීම සඳහා අවශ්‍ය වන අණ පනත් නීතිගත කර රටේ වඩාත් ඵලදායී සේවයක් ඇති කිරීමට මෙහි පාලනාධිකාරිය ඒ අවස්ථාවේදී ඉල්ලීම් ඉදිරිපත් කළා.උසස් පෙළ සඳහා සිසුන් දෙලක්ෂ පනස්දහසක් පමණ පෙනී සිටි විට ඉන් විසි පන්දහසක් පමණ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඉන් පිරිසක් විදේශ රටවල අධ්‍යාපනයට යොමු වෙනවා. ඒ වගේම ඒ.ඒ.ටී. පාඨමාලාව හැදැරීමට තවත් පිරිසක් යොමු වෙනවා.

     

    ලංකාව සංවර්ධනය වන රටක් ලෙස මෙම සේවාව ඉතාම වැදගත්. මූල්‍ය කටයුතුවලදී නිවැරදි පරිපාලනය සිදු කර ගන්නා කණ්ඩායම සුවිශේෂී වනවා.මුදල්වල ඇති වගකීම පිළිබඳව අද රජයකට ඇති ප්‍රධාන චෝදනාවක්. මේ සිසුන් සමාජ ගතවූ පසු ඒ දැවැන්ත වූ වගකීමේ කොටස්කරුවන් වනවා.මේ රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබ සමාජ ගත වූ පසු සුවිශේෂ දායකත්වයක්,නායකත්වයක් සහ මගපෙන්වීමක් සිදු කළ යුතුව තිබෙනවා.මේ දෙමාපිය පිරිසට අද විශාල සතුටු දවසක්.ඔබේ දරුවා නිවැරදි මාවතකට පිවිසිලා, යහපත් මාවතකට යොමු වී අනාගතය කරා ගමන් කිරීමට දොරගුළු විවිවර කර ගත්තා.

     

    අවසන් වශයෙන් මේ කරුණත් පැවැසිය යුතුයි. ගණන් කියන්නේ 0,1,2,3,4,5,6,7,8,9  යන ඉලක්කම් පමණයි. රුපියල්,ඩොලර් හෝ කුමන මුදලක් හෝ වෙන්න පුළුවන්.ඕනම බැංකුවක් වෙන්න පුළුවන්. ගණන් හදන්නේ මේ ඉලක්කම් 10 ඇතුළත.මෙම ඉලක්කම් සොයා ගත් බවට ඉන්දියානු පොත්වල සඳහන් වන්නේ ශ්‍රි ලාංකිකයෙක්.අද මුළු ලෝකයම එය භාවිතා කරනවා.මේ ඉලක්කම් 10 තුළ සෑම ගණනක්ම හදනවා. මුළු ලෝකයම එක විදියට හිතන ඉලක්කම් 10 හසුරුවන්න තමයි මේ පිරිස අද සහතික ලබා සමාජ ගත වෙන්නේ. ඕනම රටක, ඕනම ජාතියක, ඕනම වර්ණයක පුද්ගලයින් භාවිතා කරන්නේ මෙම ඉලක්කම් 10යි. ඉතිහාසයේ ගනුදෙනු සිද්ධ වුණේ භාණ්ඩ හුවමාරු කර ගෙන.ශ්‍රික සමාජය රෝමානු ඉලක්කම් ක්‍රමය කෙටි කාලයක් අනුගමනය කළා.නමුත් පසුව මුළු ලෝකයම ඕනෑම ගණනක් හදන්නේ මෙම ඉලක්කම් 10 මගින්. මේ ඉලක්කම් 10 සොයා ගත්තේ ශ්‍රි ලාංකිකයෙක් යන්න ලෝකයේ පොතපතේ සඳහන් වනවා. ඒ නිසා අද ගණකාධිකාරි සේවයට එක් වන පිරිසට ජාත්‍යන්තර සමුළුවලදී ඉලක්කම් අයිතිවාසිකම් පිළිබඳව ඔබට කථා කරන්න පුළුවන්. මේ ශ්‍රි ලාංකිකයාගේ සොයා ගැනීම පිළිබඳව අපට ආඩම්බර වෙන්න පුළුවන්." යැයි කීය.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා ගිණුම්කරණ ශිල්පීන්ගේ සංගමයේ සභාපති ජේ.එම්.යූ.බී.ජයසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

     ​

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya