සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වස විසෙන් තොර කෘෂිකාර්මික වැඩසටහන” කළුතර දිස්ත්‍රික්කයේ වගා කළ "රන් අස්වනු නෙළීමේ උත්සවය”

    පෙබරවාරි 26, 2017

    ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක "වස විසෙන් තොර කෘෂිකාර්මික වැඩසටහන” යටතේ කළුතර දිස්ත්‍රික්කයේ වගා කළ "රන් අස්වනු නෙළීමේ උත්සවය” සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ කළුතර, යටදොලවත්ත බෝපිටිය ගම්මානයේ දී සිදු කෙරිනි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "වස විසෙන් තොර ආහාර වගා කිරිම පිළිබදව රතන හිමියන් පසුගිය රජය සමයේ දී ද අදහස් පළ කළත් පැවැති රජය එයට එකඟ වුයේ නැහැ. එම රජයේ පාලකයින්ට දැක්ම් තිබුනේ නැහැ. පොත පතේ තිබූ දේවල් පමණයි ඉටු කළේ. රටට ඔරොත්තු දෙන රජයක් බිහි කිරිමට මුලින්ම සාකච්ඡා පැවැත්වූයේ මමත්, අතුරලියේ රතන හිමියනුත් එකතුවයි. අපි දෙදෙනා තරුණ වයසේ සිටම හොද මිතුරන්. මගේ පුතා චතුර සේනාරත්න මහතා සමග ද රතන හිමියන් සමගිව වැඩ කළා. රතන හිමියනුත් අපිත් අතර මතභේද තිබුනත් රජය බිහි කිරීමට ඒවා බාධාවක් වූයේ නැහැ. වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන ලද්දේ සියළුම දේශපාලන පක්ෂ, ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින් එකතුවයි.

    ප්‍රතිපත්ති ප්‍රකාශනය තනි පක්ෂයක් විසින් හැදුවේ නැහැ. ප්‍රකාශනය හදනවිට මටත්, ජනාධිපතිවරයාටත් පක්ෂයක් තිබුනේ නැහැ. අපි හිටියේ ගන්ධබ්බ අවධියේ. අද රූපවාහිනී වැඩසටහනකට ගියත් මගෙන් පක්ෂය ගැන අහනවා. මම කියන්නේ මම ආණ්ඩු පක්ෂයේ කියලයි.”


    "පසුගිය රජයේ පොහොර සහනාධාරය නිසා මෙම භූමිය මෙන්ම ගොවි බිම් විනාශයට පත් වුනා. වස විෂ සහිත පොහොර ඉතාම අඩු මුදලකට ගෙනවිත් ගොවීන්ට බෙදා දුන්නා. මුදල විතරයි බැලුවේ. විෂ රසායනික ද්‍රව්‍ය එම පොහොරවල අඩංගු වී තිබුනා. වත්මන් රජය පොහොර සහනාධාරය නතර කළ පසු ලොකු විරෝධයක් මතු වුනා. ඇතැම්  පක්ෂ රසායනික පොහොර ඉල්ලා ගොවීන් පාරට බැස්සුවා. නමුත් අද විනවිට ගොවීන් එය තේරුම්ගෙන රසායනික පොහොර ඉල්ලන්නේ නැහැ. කාබනික පොහොරවලට පුරුදු වෙනවා. වස විසෙන් තොර කෘෂිකාර්මික වැඩසටහන යටතේ අක්කර 55,000 ක් වගා කරනවා. වියළි කළාපයේ ගොවිතැන තෙත් කළාපයට ගෙනඒමත් එහි අරමුණක්. වසවිසෙන් තොර එළවලු සහ පළතුරු යුරෝපා රටවල හරිම ජනප්‍රියයි. පොහොර සහ කෘෂි රසායන ආනයනය කිරිම සදහා වසරකට රුපියල් බිලියන 80 ක් අවැය කරනවා. වස විසෙන් තොර එළවලු සහ පළතුරු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර යුරෝපා වෙළෙද පොලට අපනයනය කිරීමෙන් එම මුදල අවම කර ගත හැකියි.”


    "දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කළා. එහිදී දුම්කොළ සමාගම ප්‍රකාශ කළා ගොවීන් 35,000 කගේ ජිවනෝපාය අහිමි වන බව. ඒ කිසිවක් මෙතෙක් සිදු වුයේ නැහැ. අපි බය නැතිව එම තීරණය ක්‍රියාත්මක කළා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග මිල අඩු කිරීමෙි වැඩපිළිවෙලත් බව නැතිව ක්‍රියාත්මක කළා. අක්ෂි කාච මිල අඩු කිරීම සහ ස්ටෙන්ස් නොමිලේ ලබාදීම හේතුවෙන් රෝගීන්ගේ පොලිම වැඩිවී තිඛෙනවා. එය ඉදිරි මාස 06 තුල දී අවම කිරිමට මම බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය ජනතාවට සහන රැසක් ලබාදී තිබෙනවා. සහල් මිල මෙි වනවිට අඩු වී තිඛෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මට දැනුම් දුන්නා දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති අඛණ්ඩව සිදු කිරීමෙන් ඉදිරි කාලයේ දී ලොව හොදම සෞඛ්‍ය සේවාව පවතින රටවල් 05 අතරට ශ්‍රී ලංකාවටත් එන්න පුළුවන් කියලා.”

     

    "පුජ්‍ය අතුරලියේ රතන හිමියන් තනියෙන් ස්වාධීීන වෙන්න හදනවා. තනියෙන් කාටවත් ස්වාධීන වෙන්න බැහැ. ඊට අපි ඉඩ දෙන්නෙත් නැහැ. රජය ලබාදුන් පොරොන්දු ඉටු කර ගැනීමේ සටන අපි ජය ගත යුතුයි. පැවැති රජය පෙරළන හැටි කියලා දුන්නෙත් රතන හිමියන්. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය ගැන කියලා දෙන්නෙත් රතන හිමියන්. උන් වහන්සේ ගුරුවරයෙක් වගේ.”  


    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි. පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රධාන මහා සංඝරත්නය, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, කළුතර දිස්ත්‍රීක් ලේකම් යු.ඩි.සී ජයලාල් මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රි කීර්ති  කාරියවසම් මහතා, ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya