මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉකුත් වසර දෙකේ ශක්තිමත් ගමනකට අඩිතාලම තැබුවා- අගමැති

    පෙබරවාරි 20, 2017

    ඉකුත් වසර දෙකේ දී අප ශක්තිමත් ගමනක් සඳහා අඩිතාලම තැබූ අතර වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් සිදු කර තිබෙන බවත් දැන් තිබෙන්නේ රේස් එක යාමට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    මේ ගමනේදී  ඇතැමුන් කකුලෙන් අදින්නට උත්සාහ කළත් ඊට මුහුණදීමට අප සූදානම් බව අරණායක, රයිනෝ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ දී ඊයේ (17) අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    අගමැතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    "රයිනෝ ආයතනය රුපියල් මිලියන 50 ක් වියදම් කර අරණායක වසන්තගම නිවාස 20 ක් ඉදිකර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ජයසීලම්  ඥානම් මැතිතුමා ඇතුලූ කාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය පුද කරනවා. මේ ආයතනය ඇතුලූ රාජ්‍ය නොවන තවත් ආයතන මගින් නාය යාමෙන් අවතැන් වූ ජනතාව සඳහා නිවාස හදා දී තිබෙනවා. ඉතිරි වැඩ කටයුතු සඳහා රජය විසින් මුදල් ලබා දී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පළමු වතාවට රුපියල් 25,000 ක්, 50,000 ක් දීමෙන් නතර නොවී අවතැන් වූ ජනතාව සඳහා ජීවත් විය හැකි මට්ටමේ හොඳ නිවාස ඉදි කර දී තිබෙනවා.

    මෙම නායයාම සිදු වූ දින ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාත්, මමත් ගුවනින් මෙහි පැමිණ සිදු වූ විපත දැකබලා ගත්තා. මේ විපතෙන් නාය ගිය නිවෙස් පැල්පත් නොවන බව එහිදී මා අවබෝධ කර ගත්තා. ඔවුන් කඳු බෑවුම්වල හොඳ නිවාස ඉදි කර ගෙන ගොවිතැන් කටයුතු කරමින් ජීවත් වුණා. දැන් අප අලූත් නිවාස ඉදිකර තිබෙන්නේත් ඒ ආකාරයටමයි.

    නායයාමෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් විශාල ලෙස උනන්දු වුණා. අනුර යාපා ඇමැතිතුමාත් විශාල ලෙස වැඩ කළත් ඔහු මාධ්‍යයට නොයන ඇමැති කෙනෙකු නිසා බොහෝ දේ ජනතාව දන්නේ නැහැ. මේ විපතෙන් වසරකට පසුව අවතැන් වූ බොහෝ දෙනෙකුට නැවත නිවාස ඉදිකර දීමට හැකි වී තිබෙනවා. මෙම විපත සිදු වූයේ පසුගිය වෙසෙක් පෝයට දින කිහිපයකට පෙරයි. දැන් ඊළඟ වෙසක් පොහොය එළැඹෙන විට එම ගම්මානය සම්පූර්ණයෙන්ම ගොඩනගන්නට හැකි වේවි. මෙය ලංකාවට මෙන්ම ලෝකයට ද වාර්තාවක් බව කිව යුතුයි. බොහෝ විට මෙවැනි විපතකින් අවතැන් වූ ජනතාවට සහන සැලසීමට වසර 2 - 3 ක් ගත වෙනවා. අමෙරිකාවේ නියෝලියස් නගරයේ කැත්‍රිනා ව්‍යසනයෙන් වසර 5 ක් ඉක්ම ගිය පසුවත් නිවාස ඉදිකර දී නොතිබූ බව මා කියවා තිබෙනවා.

    මේ ප්‍රදේශය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාම මේ ව්‍යසනයේ දී විශේෂ උනන්දුවකින් කටයුතු කළා. එම අමාත්‍යවරුන් දෙදෙනාටම මේ ප්‍රදේශය ගැන හොඳ දැනීමක් තිබෙනවා. පක්‍ෂ දෙකේ වුණත් ඔවුන් එකට වැඩ කරනවා. අප මේ ප්‍රදේශයට කරන ඊළඟ වැඩ සටහන කුමක්දැයි එම අමාත්‍යවරුන් දෙදෙනා සමග සාකච්ඡා කරනවා. අරණායක දියුණු කිරීම සඳහා ලලිත් දිසානායක සහ නිමල් ජයසිංහ මහත්වරුන් ද කැප වී කටයුතු කළා. මේ ආධාර බෙදා ගන්නේ කෙසේදැයි කියමින් කිසිවෙකුත් ගහගන්න ගියේ නැහැ. මෙම ප්‍රදේශයේ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් එකට වැඩ කරන විට අප කළ යුත්තේ ඒ සඳහා සම්පත් සොයා දීමයි. පක්‍ෂ දෙකම එකට එකතු වුවහොත් ඕනෑම කාර්යයක් සාර්ථක කර ගත හැකි බවට මෙය හොඳ උදාහරණයක්.
    අප වෙන්ව හිටියා නම් මෙවැනි දැවැන්ත වැඩ සටහනක් කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රශ්න අසනවා. අර්බුද මතු වෙනවා. නමුත් මෙම දේශපාලන එකඟතාවය නිසා විශාල වැඩ කොටසක් කරන්නට හැකි වී තිබෙනවා. නමුත් මෙම ව්‍යසනයේ දී මේ ප්‍රදේශයේ ප්‍රධාන පක්‍ෂ නියෝජනය කරන ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් එක හඩින් ආණ්ඩුවේ අදාළ අමාත්‍යාංශවලින් ඉල්ලා සිටියේ ජනතාව වෙනුවෙන් සහන සලසන ලෙසයි. සියලූම ඇමැතිවරුන්ට කරදර කර ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ඔවුන්ට හැකි වුණා.
    නිවාස ලැබෙන සියලූ දෙනාටම ජීවිතය අලූතින් ආරම්භ කළ හැකියි. අහිමි වූ ජීවිත පිළිබඳව අප කණගාටු වෙනවා. නමුත් අප ජීවත්ව සිටින අයට අනාගතයක් නිර්මාණය කළ යුතුයි. අනාගතයට මුහුණ දී අපි ඉදිරියට යමු. සුනාමි ව්‍යසනයේ දී එකට එක්වී වැඩ කළේ නැහැ. එම නිසා වසර 5 – 6 ක් ගතවන තුරුත් නොකළ වැඩ කටයුතු රාශියක් තිබුණා. අප එකට එකතු වූයේත්, මේ රටේ ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමටයි.

    අරණායක නාය යාමෙන් මෙහි ජනතාවගේ අනාගතය නැති වූ අයුරින් යුද්ධයෙන් පසුවත් ජනතාව අතර තිබූ අසමගිය නිසා, ආර්ථිකය ක්‍රියා විරහිත වීම නිසා විශාල අර්බුද පැන නැගී තිබුණා. එක්සත් ජාතික පක්‍ෂය ඇතුලූ සිවිල් සමාජය, තවත් පක්‍ෂ කිහිපයක් එක්ව වෙනසක් ඇති කිරීමට කල්පනා කළේ මේ තත්ත්වය යටතේයි. මෙම අර්බුදයේ තිබෙන ගැඹුරු බව අප තේරුම් ගත්තා. ආර්ථිකයේ තිබූ අර්බුදය අප තේරුම් ගත්තා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වසර දෙකකට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වූයේත් මෙම ආර්ථික අර්බුදයට මුහුණදීමට තිබූ නොහැකියාව නිසයි.

    අප සියලුම තීරණ ගත්තේ රටේ තිබෙන සැබෑ තත්ත්වය තේරුම් ගැනීමෙන් අනතුරුවයි. එකල ශ්‍රී ලංකාවට විරුද්ධව ජාත්‍යන්තරයේ විශාල මතයක් ගොඩනැගී තිබුණා. මැතිවරණයෙන් පසුව ප්‍රධාන පක්‍ෂ එකට එක්වීමේ අවශ්‍යතාවයක් පැන නැගුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වීමට අපට වරමක් තිබුණේ නැහැ. අපට වරමක් ලබා දී තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එක්ව වැඩ කිරීමටයි. අනතුරුව අප පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවා. එහිදී පක්‍ෂ දෙකටම අලුතින් හිතන්න අවස්ථාවක් ලැබුණා. මැතිවරණයෙන් පසුව අප යහපාලන රජය පිහිටුවා රට ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරමින් සිටිනවා.

    මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම අප හමුවේ තිබූ විශාලතම අභියෝගයක් වුණා. එක් පැත්තකින් ජාත්‍යන්තර නඩු පැවරීම් තිබෙනවා. අනෙක් පැත්තෙන් තවත් විවිධි ප්‍රශ්න තිබෙනවා. අපට පළමුවෙන්ම කළ යුතු වූයේ ශ්‍රී ලාංකිකයන් ලෙස ජනතාව එකතු කිරීමයි. අපේ ජනතාව එකතු වී සිටිනවා නම් ජාත්‍යන්තරයට කතා කළ හැකියි. එම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම එකතු කර ගත්තා. අද වන විට මේ සම්බන්ධයෙන් 2014 – 2015 වසර වල තිබූ උණුසුම ඇත්තේ නැහැ.

    එසේ වුවත් අප මේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් ලබාදිය යුතුයි. එවිට අපට තවත් ඉදිරියට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. එය ආර්ථිකයටත් වාසියක්. බලය බෙදා හැරීම පිළිබඳවත් අප දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කරනවා. එම ප්‍රශ්න විසදාගත හොත් ජාත්‍යන්තරයෙන් මීටත් වඩා අපට උදව් උපකාර ලැබේවි. මේ ප්‍රශ්නය පමණක් නොව, අප හමුවේ තවත් ප්‍රශ්න රාශියක් තිබෙනවා. ආර්ථික ප්‍රශ්න තිබෙනවා.
     
    උතුරේ තරුණ තරුණියන් පළමු කණ්ඩායම ආයුධ ගත්තේ ඔවුන්ට රැකියා නොමැති වූ නිසයි. හොඳ රැකියා තිබුණා නම් දෙමළ භාෂා ප්‍රශ්න හෝ කිසිම දෙයක් ඇති වන්නේ නැහැ. රැකියා නොමැති වූ නිසා මෙම ප්‍රශ්න ඇති වුණා.

    ආර්ථික අර්බුද හමුවේ අරණායක වැනි ව්‍යසනයක් ඇති වූ අවස්ථාවකවත්, ඊට මුහුණ දීමට රජයට හැකියාවක් නැති වේ යැයි ඇතැමුන් සිතුවා. ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේ අපට මුදල් තිබුණේ නැහැ. නමුත් කෙසේ හෝ අප මුදල් සොයා ගෙන අවශ්‍යතා ඉටු කළා. 2015 වසර වන විට රටට ආදායමක් තිබුණේ නැහැ. එදිනෙදා වියදම් සඳහාවත් අපේ ආදායම ප්‍රමාණවත් නැහැ. විශාල ණය බරක් තිබුණා. නමුත් කෙසේ හෝ ගැටලු නිරාකරණය කර ගෙන අප ප්‍රශ්නවලට මුහුණ දුන්නා.
     
    රජය ගෑස් මිල අඩු කළේ කෙසේද, පාන් මිල අඩු කළේ කෙසේද, ඉන්ධන මිල අඩු කළේ කෙසේද ආදී ප්‍රශ්න බොහෝ අයට තිබුණා. ජාත්‍යන්තරයේ මිල අඩු වන විට අපත් එම සහනය ජනතාවට ලබාදිය යුතුයි. අමාරුවෙන් හරි අප ජනතාවට සහන ලබා දුන්නා.
    රට හමුවේ ඇති දේශීය සහ විදේශීය ණය ගෙවන්නේ කෙසේද යන්න රජය මුහුණ දුන් ලොකුම ප්‍රශ්නයයි. රාජපක්‍ෂ රෙජීමය ගත් විදේශ ණය ගෙවිය යුතු යුගය දැන් එළැඹි තිබෙනවා. 2006 වසරේ සිට ඔවුන් ගත් ණය දැන් ගෙවන්නට සිදු වෙලා. ඒ ණය ගෙවන්නේ කෙසේදැයි හිටපු ජනාධිපතිවරයා දැනගෙන සිටියේ නැහැ. අප කෙසේ හෝ මේ ණය උගුලට මුහුණදීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා.
    මා මෙහිදී දේශීය ණය ගැන කතා කරන්නේ නැහැ. දේශීය ණය ගැන කතා කර  බය කරන්න” වෙන දවසක එන්නම්. අපට ගෙවීමට ඇති විදේශ ණය පිළිබදව දැන් කියන්නම්. 2017 වසරේ ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 408 යි. 2018 වසරේ දී ඩොලර් කෝටි 416.4 ක් ද, 2019 වසරේ දී ඩොලර් කෝටි 314 ක් ද, 2020 වසරේ දී ඩොලර් කෝටි 320 ක් ද, 2021 වසරේ දී ඩොලර් කෝටි 319 ක් ද, 2022 වසරේ දී ඩොලර් කෝටි 356 ක් ද, 2023 වසරේ දී ඩොලර් කෝටි 194 ක් ද, 2024 වසරේ දී 184 ක් ද, 2025 වසරේ දී 390 ක් ද, 2026 වසරේ දී 253 ක් ද වශයෙන් විදේශීය ණය ගෙවීමට තිබෙනවා. මේ අනුව සම්පූර්ණ විදේශ ණය සහ පොලිය ඩොලර් කෝටි 3119 ක් ගෙවීමට සිදු වී තිබෙනවා.

    2026 වසර වන තෙක් මේ ආකාරයට ණය ගෙවීමට සිදුවී තිබෙනවා. අපේ විශාලතම ප්‍රශ්නය වන්නේ 2017, 2018, 2019 වසරවල මේ ණය ගෙවන අතරතුර ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්නේ කෙසේද යන්නයි. මෙම ණය මුදල රුපියල්වලින් ගතහොත් රුපියල් කෝටි හාර ලක්‍ෂ අසූ දෙදහස් නවසිය හතලිහකි. අප මෙම ණය අර්බුදයට මුහුණ දෙන අතරතුර සංවර්ධනය ඇති කරන්නේ කෙසේදැයි සාකච්ඡා කරමින් සිටිනවා.

    හම්බන්තොට වරායේ කිසිම ලාභයක් නැහැ. කොළඹවරායෙන් ලබන ලාභයෙනුත් හම්බන්තොට වරායට ගෙවීමට සිදු වී තිබෙනවා. හම්බන්තොට වරායේ ණය ගෙවීම් මේ වසරේ වැඩි වීම නිසා ශ්‍රී ලංකාවට ඇති විදේශ ණය ප්‍රතිශතය තවත් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. එම නිසා චීනයේ ප්‍රසිද්ධම වරාය බාර සමාගමක් වන චයිනා මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකාව එකතු වී හම්බන්තොට වරායේ වැඩ කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. එම නිසා අප චීන සමාගමෙන් ඩොලර් කෝටි 110 ක් ඉල්ලා ගත්තා. එම ඩොලර් කෝටි 110 ලබා ගෙන එය චීනයට ගෙවූ පසු අපට මේ වසරේ දී ගෙවීමට තිබෙන ඩොලර් කෝටි 408 ක මුදල කෝටි 298 කට අඩු වෙනවා.
    අප ජනතාවට සහන දෙන්නේ එම සැලසුම් අනුගමනය කිරීමෙනුයි. ලබන වසරේ දී අපට ඩොලර් කෝටි 416 ක් ගෙවිය යුතුව තිබෙනවා. හම්බන්තොට තවත් ව්‍යාපාර ඇරැඹූ පසු ශ්‍රී ලාංකික අයිතියෙන් කොටසක් චීනයට ලබා දී ඒ සඳහා මිල අය කර ගැනීමට අප තීරණය කළා. ඒ මුදල කෝටි 150 කි. එවිට අපට ගෙවීමට ඇති මුදල කෝටි 266 දක්වා අඩු වෙනවා. මෙම තීරණය නිසා අපට අනෙක් සංවර්ධන වැඩ සිදු කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ අනුව ඊළඟ වසර දෙකේ දී කෝටි 825 ක් නොගෙවා අප ගත් මුදල් චීනයටම දුන් පසුව ණය මුදල කෝටි 566 දක්වා අඩු කිරීමට හැකියාව ලැබෙනවා. එවිට ඩොලර් කෝටි 260 ක වාසියක් හෙවත් රුපියල් කෝටි 3900 ක වාසියක් අපට ලැබෙනවා. අප ඉදිරියට යාමට පටන් ගන්නේ මේ මුදල ලබා ගෙනයි.

    හම්බන්තොට වරාය පටන් ගත් සැණින් තෙල් පිරිපහදුවක් ඇරැඹිමට එකඟ වී තිබෙනවා. එමෙන්ම තවත් සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ද පටන් ගන්නවා. එල්.එන්.ජී. විදුලි බලාගාරයක් පටන් ගන්නවා. නැව් තටාකාංගනයක් පටන් ගන්නවා. අඩු ගණනේ මුල් අවස්ථාවේ දී කර්මාන්ත ශාලා 200 – 300 ක් මෙහි ආයෝජනය කිරීමට එනවා. ඒ අනුව මේ වසර දෙකේ දී අපට හොදින් දියුණු වී රැකියා දෙමින් ඉදිරියට යාමට හැකියාව තිබෙනවා. ඉන් අනතුරුව අප තවත් කර්මාන්ත කලාප ආරම්භ කරනවා. සංචාරක කලාප බිහි කරනවා. මේ ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්ත කලාප බිහි වේවි. අවිස්සාවේල්ල වෙළෙඳ කලාපයේ වාසිය දෙහිඕවිට ප්‍රදේශයටත් ලැබෙනවා.
    ගමේ සිටින තරුණ තරුණියන්ටත් අප රැකියා ලබාදිය යුතුයි. මෙම රැකියා ලබාදීමේ සංග්‍රාමයට විරුද්ධව නඩු පැවරීම සම්බන්ධයෙන් මා

    පුදුමයට පත් වුණා. ඔවුන් කියන්නේ ඩොලර් කෝටි 3600 ක් ජනතාවගේ සාක්කුවෙන් ගෙවන්න කියලාද? ආණ්ඩුව ගන්නා ණයවලට කරන්නේ කුමක්දැයි මා මිත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විමසනවා. ඒ ණය ගෙවන ආකාරය ගැන මා කියන්නම්.
    ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබුණු පසුව යුරෝපයට යවන ඇගළුම් අපනයනය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. අප ගත් ණය අප විසින් ඒ මුදලින් ගෙවන්නම්. ඊට අමතරව ජපානය අපට උපකාර කරනවා. අපට බැදුම්කර දෙන්න, අප ඒ බැදුම්කර සනාථ කරනවා යැයි ජපානය පැවසුවා. එය හඳුන්වන්නේ සමුරායි බැදුම්කර යනුවෙනුයි. එහි වගකීම ජපානයේයි. ඒ මුදල අපටයි. එයින් ඩොලර් කෝටි 100 ක පමණ මුදලක් අපට ලබාගත හැකියි. ජාතික ආණ්ඩුව ගත් ණය ගෙවන ක්‍රමය පිළිබදව අප සැලසුම් සකසා අවසන්. දැන් අප හමුවේ ඇති අභියෝගය නම් රාජපක්‍ෂ ණය ගෙවීමයි. දැන් මේ අය ඊර්ෂ්‍යාව නිසා නඩු පවරා රැකියා ලබාදීමේ අවස්ථාවත් නැති කරන්නට උත්සාහ කරනවා. කුමන ආකාරයෙන් ක්‍රියා කළත් අප අපේ සැලසුම් නවත්වන්නේ නැහැ. ඉදිරියටම ගමන් කරනවා. මෙරට තරුණ තරුණියන්ට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අලූතින් පක්‍ෂ දෙක එක්ව ප්‍රතිඵල ලබාදේවි යැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. පාක්‍ෂිකයන්ට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා.
     
    ඉකුත් වසර දෙකේ දී අප ශක්තිමත් ගමනක් සඳහා අඩිතාලම තැබුවා. වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. දැන් තිබෙන්නේ රේස් එක යන්නයි. එහිදී ඇතැමුන් කකුලෙන් අදින්නට උත්සාහ කරාවි. ඊට මුහුණදීමට අප සූදානම්. අපේ වැඩ ඇරැඹූ පසුව සියලුම සංවිධායකවරුන්ට ප්‍රදේශයට වැඩ කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නම්. සංචාරක ව්‍යාපාරය, පරිගණක ක්ෂේත්‍රය ආදිය දියුණු කිරීමට අවස්ථාව ලැබේවි. අප මේ ගමන වසර 5 ක් ඉදිරියට ගෙන යනවා. ඒ ගැන කිසිඳු බයක් හිතේ තියා ගන්න එපා. මූලික ප්‍රශ්න සියල්ලම විසඳනවා.

    1978 – 79 වසරවල යාපනයේ ඇති වූ ප්‍රශ්න මුලින්ම විසඳන්න තිබුණා. නමුත් දෙපැත්තේම දේශපාලකයන් ඒ ප්‍රශ්න විසඳුවේ නැහැ. අවසානයේ මුළු රටම වසර 30 ක් ආපස්සට ගමන් කළා. ඒ ප්‍රශ්නය අවසන් වන විට ආසියාවේ අපට පසුපසින් සිටි සියලූම රටවල් අප පසුකර ගෙන ගොස් තිබුණා. දැන් අපේ පසුපසින් සිටින්නේ කාම්බෝජය සහ ලාඕසය පමණයි. අපේ සංවර්ධන ක්‍රියාවලිය නැති නම් ඒ රටවල් ද අප පසුකර ගෙන යාවි. මේ උදා වී ඇත්තේ අපට තිබෙන අවසන් අවස්ථාවයි. රටට වැඩක් කළ හැකි අවසන් ආණ්ඩුවයි. අරණායක ව්‍යසනය විසඳීමට ක්‍රියා කළ අයුරින්ම මුළු රටම මුහුණ දී ඇති ප්‍රශ්න විසඳා රටට අනාගතයක් ලබාදීමට කටයුතු කරනවා."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya