මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිටකොටුවේ සහල් තොග වෙළෙඳ සැල් පරීක්ෂා කරයි - වී ගොවියට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ

    පෙබරවාරි 20, 2017

    වී ගොවීන්ට ආසාධාරණයක් වීම වැළැක්වීම සඳහා දේශීය සහල් සඳහා උපරිම මිල සංශෝධනය ඉතා ඉක්මණින් ගැසට් කරන බවත් මේ වනවිට වෙළෙඳ පොළේ කිසිදු හාල් හිඟයක් නොමැති බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා කොළඹ පිටකොටුවේ සහල් තොඟ වෙළෙඳ සැල් පරීක්ෂා කිරීමේ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

     

    ‘‘වෙළෙඳ පොළේ සහල් හිගක් පවතින බවට විශාල ප්‍රචාරයක් ගෙන යනවා. ඒ ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නැහැ. අපි රජයේ වී ගබඩාවල තිබූ වී තොග මෙට්‍රික් ටොන් 50,000 ක් අරගෙන සතොස වී මෝලේ හාල් බවට පත්කරලා සතොස මගින් රට පුරා බෙදා හැරියා. ඒ නිසා අවශ්‍යතරම්

    දේශීය සහල් ලංකා සතොස අලෙවි සැල්වල තිබෙනවා. ඊට අමරතව පසුගිය කාලයේ කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ හාල් හිඟය පියවීම සඳහා අපි පිටරටින් හාල් ආනයනය කළා. පසුගිය සතියේ හාල් මෙට්‍රික් ටොන් 60,000ක් මෙරට වරායට ලැබී ඒවා තොඟ වෙළෙන්දන්ට ලබා දී තිබෙනවා. ඉදිරි දින කිහිපයේ දී හාල් මෙට්‍රික් ටොන් 190,000ක් ලැබීමට නියමිතයි. දැනට වෙළෙඳ පොළේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් පමණ තිබෙනවා. හාල් හිගයක් කිසිසේත්ම නැහැ. අපි අද මාධ්‍යවේදී මහත්වරු ද සමග හාල් තොග කඩ නිරීක්ෂණය කළා. මේ තොග කඩවල ඕනෑ තරම් හාල් තොග තිබෙනවා. ඒවා උපරිම සිල්ලර මිලට වඩා රුපියල් හයක් හෝ පහක් පමණ අඩු මුදලට වෙළෙන්දන්ට ලබා ගත හැකියි. “

     

    අමාත්‍යවරයා පවසන්නේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා ජීවන වියදම් පිළිබඳ අනුකමිටුවේ නිර්දේශයට අනුව හාල් ආනයනය කළ ද ඉදිරි දින කිහිපයේ දී ලැබීමට නියමිත අස්වැන්න හේතුවෙන් ගොවීන්ට සිදුවිය හැකි අසාධාරණය වැළැක්වීමට පියවර ගන්නා බවයි.

     

    ‘‘ අම්පාර, වව්නියාව, සහ දකුණේ ඇතැම් ප්‍රදේශවල දැන් ගොයම් අස්වැන්න නෙලනවා. මේ වී තොග ඉතා ඉක්මණින් රජය මිලදී ගැනීමට කටයුතු කරන්න අවශ්‍යව තිබෙනවා. අපි පිටරටින් හදිසියේ ම සහල් ගෙන්වූ නිසා දේශීය ගොවීන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා ඔවුන්ට අසාධාරණයක් වීම වළක්වන්න කියා. මේ නිසා අපි දැනට තීරණය කර තිබෙනවා හාල් මිල පාලනය කිරීම සඳහා ගැසට් කරපු උපරිම සිල්ලර මිල සංශෝධනයක් කරන්න. ඒ අනුව දේශීය සහල් සඳහා ඉතා ඉක්මණින් උපරිම සිල්ලර මිලක් ගැසට් කරනවා. එවිට අපේ දේශීය ගොවීන්ගේ වී සඳහා උපරිම මිලක් දෙන්නත් රජයට හැකිවෙනවා. අපි ගොවීන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ “ යැයි ද අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කියා සිටියේය.

     

    දේශීය සහල් සහ ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිල දෙකක් ගැසට් කළ පසු මේ සහල් වර්ග වෙන්කර හඳුනාගැනීමට හැකියාවක් ඇත්ද යන්නත්, ආනයනික හාල් දේශීය හාල් ලෙස විකිණීම වැළැක්වීමටත් යම් පියවරක් ගත හැකිදැයි යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කීවේය.

     

    ‘‘ අපේ පාරිභෝගිකයන්ට රට හාල් සහ ලංකාවේ සහල් වෙන්කර හඳුනාගන්න අපහසුවක් නැහැ. අපි හැමදාම කෑවේ බත්. ඒ වගේ ම ආනයනය කරන හාල් මෝල්වලට බෙදා හරින්න ඉඩක් දෙන්නේ නැහැ. ඒ හාල් බෙදාහරින ආකාරය ගැන අපි පරීක්ෂාකාරී වනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීණ් 250ක් පමණ පිරිසක් මේ ගැන නිතර අවධානයෙන් ඉන්නවා. සඟවාගෙන සිටින සහල් තොග පරීක්ෂා කරනවා. වැඩි මිලට සහල් විකුණන ස්ථාන වටලනවා. ඕනෑම කෙනෙකුට මේ ගැන අපේ පාරිභෝගික අධිකාරියේ 1977 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන්න අවස්ථාව ලබා දී තිබෙනවා. “

     

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ලංකා සතොස ශාඛා 325ක් මගින් සහල් උපරිම සිල්ලර මිලට ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබී ඇති බවයි.

     

    මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ සහල් තොග වෙළෙඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් සහල් පමණක් විකුණන බවයි. නමුත් සිල්ලර වෙළෙඳාමේ යෙදෙන ව්‍යාපාරිකයන් සහල්වලට අමතරව වෙනත් භාණ්ඩ විශාල ප්‍රමාණයක් අළෙවි කරන බැවින් මෙවන් අසීරු වාතාවරණයක දී වැඩි ලාභයක් නොලබා සහල් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට ලබා දීමට උනන්දු විය යුතු බව ද ඔහු කියා සිටියේය.

     

    මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා ද සහභාගී වී සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya