මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික සංවර්ධන අධිකාරිය පළාත් සභා බලතල පවරාගෙන නැහැ- ඇමැති පාඨලී රණවක

    පෙබරවාරි 19, 2017

    නාගරික සංවර්ධන අධිකාරිය පළාත් සභාවල බලතල අරගෙන කියා මේ දිනවල වැරදි ප්‍රචාරයක් ගෙන යන බවත් එවැනි කිසිම දෙයක් සිද්ධ වී නැති බවත් මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ‘‘අපට 1978 යම් බලයක් තිබුණද එසේම 2016 යම් බලයක් තිබුණද ඒ බලය මිස කාගෙවත් බලයක් අපි පාවිච්චි කරන්නේ නැහැ. මුළු රටේම සියළුම ගොඩනැගිලි සැලසුම් කිරීම් ආදියේ බලය තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියටයි. එය පාර්ලිමේන්තුවෙන් වෙනස් වෙනකම්ම එම බලය තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියටයි. පළාත් සභාවලට එහි කිසිම සම්බන්ධයක් නැහැ. පලාත් සභා එන්න බොහොම කලින් නාගරික සංවර්ධන අධිකාරි පනත සම්මත උනේ. ඒ වගේම සෑම පළාත් පාලන ආයතනයකම කමිටුවක් තිබෙනවා, ඒ කමිටුවට 1985 අග‍්‍රාමාත්‍ය රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා චක‍්‍රලේඛයක් මගින් යම් යම් පරිපාලනයක් ලබාදුන්නා. පාරිපාලනය ලබාදීමයි බලය ලබාදීම් අතර ලොකු වෙනසක් තිබෙනවා. බලය තවමත් තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. පරිපාලනය පළාත් පාලන ආයතනවල කොමිටියකට ලබාදුන්නා. ඒ කොමිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීනුත් ඉන්නවා. නමුත් අපි පසුගිය අයවැය විවාදයේදී පාර්ලිමේන්තුවේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා යෝජනාවක් ගෙනාවා, විශාල වශයෙන් නීති විරෝධි ගොඩනැගිලි ඉදිවෙනවා. ඒ සඳහා අදාල නගර සභාවන් කි‍්‍රයාකරන්නේ නැහැ, ඒ නිසා මේ ගැන කටයුතු කරන්න කියලා. ඒක පර්ලිමේන්තුවේ අනුමත උනා. ඒ අනුව අපි තාවකාලිකව මුළු රට පුරාම සංගණනයක් කරගෙන යනවා, පළාත් පලන ආයතනවල අපේ අවසරයට පිටතින් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි මොනවද කියලා. ඒ අනුව අපට වාර්තා වෙලා තියෙනවා කොළඹ නගරයේ පමණක් එවැනි ඉදිකිරීම් 1800 ක් පමණ තිබෙන බව.  මෙය ප‍්‍රවණතාවයක් විදිහට ඉදිරියට ගියොත් ප‍්‍රවාහණය, මාර්ග තදබදය ඇතුළු ගැටළු ගණනාවකට මුහුණ දෙන්න වෙනවා. මේ සෑම තැනකම තට්ටු 5 කට අවසර අරං තට්ටු 10 ක් හදනවා. ඒවාට නඩු දැම්මහම නඩු විසඳන්න අවුරුදු 20 ක් පමණ යනවා. මෙන්න මේ විදිහේ ගැටළුවලට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා එම ප‍්‍රශ්න විසඳන්න අපි ඉදිරි හය මාසය ඇතුළත කි‍්‍රයා කරනවා.


    ඉදිරි හය මාසය ඇතුළත සෑම පළාත් පාලන ආයතනයකම, සෑම උපනගරයකටම අපි සැලසුමක් ඇති කරනවා. මැතිවරණ පවත්වලා ඒ සෑම නගර සභාවකම, ප‍්‍රාදේශීය සභාවකම නගරාධිපතිවරු, සභාපතිවරු පත්වූනාහම අපි ඒ අයත් එක්ක සාකච්ඡා කර අපේ මේ නව සැලසුම ඒ අයත් සමග කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එම නිසා මේ වැරදි තොරතුරුමත පදනම් වෙලා කටයුතු කිරීම ගැන අපි ගණගාටු වෙනවා. ඒ පිළිබඳව අපට කිසිම නීතිමය ගැටළුවක් නැහැ. කාගෙවත් බලතලයක් අප අරගෙනත් නැහැ. අපේ බලය අපි පරිපාලනමය වශයෙන් පරිහරණය කලා පමණයි. ඒ පරිපාලනමය වශයෙන් පරිහරණය කළ බලයෙන් 01% ක් පමණ මේ සංගණනය පවත්වාගෙන යාමත්, විධිමත්ව, සැලසුම් අවසන් කිරීමටත් අප ලබාගෙන තිබෙනවා. ජුනි මාසයේ අවසානයේදී ඒ පිළිබඳව අපි නිවැරදිව කටයුතු කරනවා. මේ ගැන පළාත් සභා අමාත්‍යවරයාටත් දැනුම් දී තිබෙනවා. ඒ ඇරෙන්න අපේ බලය පාර්ලිමේන්තුවේ තිබෙන්නේ. පළාත් සභාව සම්බන්ධයෙන් කවර ප‍්‍රඥප්තියක් ගෙනාවත් ඒක පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුයි. අපේ පනත අනුව පාර්ලිමේන්තුවට පමණයි අප වගකියන්නේ ඒ අනුව අප කටයුතු කරනවා. ඒ නිසා වැරදි තොරතුරු වැරදි ආරංචි පතුරුවලා පළාත් සභාවයි නාගරික සංවර්ධන අධිකාරියයි ගැටුමක් තියෙනවා කියලා තොරතුරු පළ කරන්න එපා. පළාත් සභාවට මෙතන කිසිම සම්බන්ධයක් නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය තමන්ගේ පනතට පිටතින් කිසිම බලයක් පාවිච්චි කර නැහැ. අපේ පනතේ ලැබී තිබෙන බලතල අනුව නීති විරොධි ස්ථාන හඳුනාගෙන අදාල බලධාරීන් සමග ලබන ජූනි මාසෙන් පසුව දැඩි පියවර ගැනීම් කරනවා. දැනට හඳුනාගත් ඒවට නඩු පැවරීම් කරනවා. මේ අවස්ථාවට ඔබ හැමගේ සහයෝගය අපි අගය කරන ගමන් මෙම කටයුතු සාර්ථක කර ගැනීමට අපේ මාධ්‍ය ආයතන අපට ලබාදුන් සහයෝගය ගැන අපි විශේෂ ස්තූතිය පුද කරනවා. එසේම අපේ අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන සෑම ව්‍යාපෘතියක්ම ඉතාමත් සාර්ථකව නිම කරන බව ප‍්‍රකාශ කරන්න  ඕනේ.


    බත්තරමුල්ල ප‍්‍රදේශය හරහා අධිවේගී මාර්ගයක් සැලසුම් කර තිබෙනවා. එහි ශඛ්‍යතා අධ්‍යන කටයුතු නිසා මෙම කටයුත්ත අපි මදකට පමා කළා. දැන් එහි කටයුතු අවසන් වෙලා තියෙනවා. දැන් අපි හඳුනාගෙන තිබෙනවා අපට ඉදිරි කාලයේදී මේ ප‍්‍රදේශය විනෝදාස්වාද නගරය හැටියට විධිමත්ව දියුණු කරන වැඩසටහනක්. කොටසන් තුනකින් මෙය සමන්විත වෙනවා. එක වෝටර්ස් ඒජ් අවන්හල සහ ඒ අවට ප‍්‍රදේශය, දෙවනුව ක‍්‍රීඩා අමාත්‍යාංශයේත් අනුග‍්‍රහය ඇතිව විවිධ ක‍්‍රීඩාවර්ග ගණනාවක් මේ ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීම දැන් කරගෙන යනවා. තුන්වනුව නාගරික සංවර්ධන අධිකාරිය හරහා මෙම ස්ථානයේම මෙයටත් වඩා පුළුල් විනෝදාස්වාදය ලබාගත හැකි යම් යම් ස්ථාන නිර්මාණය කරන්න මෙම වසරේ අපේ‍්‍රල් මාසයට පෙර කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්කයක් තිබෙනවා නාගරික සංවර්ධන අධිකාරියත්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ඊට අදාල අනුබද්ධ ආයතනත් අපේ මහනගර ව්‍යාපෘතියත් ජනවාරි 08 ජනාධිපති පදවි ප‍්‍රාප්තියේ සිට අපේ‍්‍රල් මාසයේ 08 වෙනිදා දක්වා කාලය ඇතුළත ව්‍යාපෘති 100 කට ආසන්න ප‍්‍රමාණයක් ආරම්භ කිරීම හා විවෘත කිරීම සිදුකරගෙන යනවා. හුගාක් රාජ්‍ය ආයතන පාඩු ලබනවා රාජ්‍ය ආයතන විකුණන්න  ඕනේ කියන කොට අපි ආදර්ශයක් ලබාදීලා තිබෙනවා වෝටර්ස් ඒජ් ආයතනය ලාභාංශ 40% කින් අපි වැඩිකර තිබෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    මෙම අවස්ථාවට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක විද්‍යා අමරපාල,  වෝටර්ස් ඒජ් හි සභාපති චමත් ද සිල්වා, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ කි‍්‍රයාකාරි අධ්‍යක්‍ෂ රොෂාන් ගුණවර්ධන, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ උපදේශක චන්දිම ලියනආරච්චි, බි‍්‍රගේඩියර් තිලක් උබයවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya