අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හාල් අර්බුදයක් ඇතිවන බවට පැතිරයන ප්‍රචාරයන් පිළිබඳ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සිදුකරන පැහැදිළි කිරීම

    පෙබරවාරි 17, 2017

    රට පුරා සහල් හිඟයක් පවතින බවත් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇතත් සහල් මිල ඉතා අධික තත්ත්වයක පවතින බවත් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබයි.මේ පිළිබඳව කරුණු පහැදිළි කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේ ය.

     

    මාධ්‍ය නිවේදනයයි 

    හාල් හිඟයක් රටපුරා ඇති බවත් පාලන මිලට සහල් ලබාගත නොහැකි බවත් පවසමින් වැරදි ප්‍රචාරයන් රටපුරා පැතිරයමින් පවතින බැවින් මෙම වාර්තාව සුදුසු පරිදි සකස් කර ඒ සඳහා ප්‍රචාරයක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

     

    සහල් සඳහා පාලන මිලක් නියමකිරීමෙන් පසු ලංකා සතොස අලෙවි සැල් සහ වෙනත් සුපිරි වෙළෙඳ සැල් ඇතුළු වෙළෙඳ සැල්වල පාලන මිල යටතේ සහල් ලබාගත හැකි බවත් රටතුල කිසිදු ආකාරයකින් හාල් හිඟයක් ඇති නොවන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතා පවසයි.

     

    ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් වන අතර දැනට මෙරට වෙළෙඳ පොළේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න සහල් තොගයක් සංසරණය වන බැවින් මාස තුනකට ප්‍රමාණවත් සහල් රට තුළ පවතින බවයි. මේ හේතුවෙන් හාල් හිඟයක් කිසිදු අයුරකින් ඇති නොවන බව ද ලේකම්වරයා කියා සිටියි.

     

    ඇණවුම් කළ සහල් තොග මෙරටට ලැබෙමින් පවතින බවත් ඉදිරි දින කිහිපයේ දී සතොස මගින් ද සහල් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් පාරිභෝගිකයන්ට අඩු මිලට ගුණාත්මක සහල් ලබා දීමට හැකියාව ඇති බව ද ලොකුහෙට්ටි මහතා කියා සිටියි.

     

    කොළඹ පිට කොටුවේ සහල් තොග වෙළෙන්දන් නාඩු, සම්බා සහ කැකුළු සහල් තොග සාධාරණ මිලට අලෙවි කරන බැවින් සිල්ලර වෙළෙඳාමේ නිරත වෙළෙන්දන්ට උපරිම සිල්ලර මිලට යටත්ව සහල් විකිණීම ගැටළුක් නොවන බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ මහතා පවසන්නේ කිසිදු හිඟයකින් තොරව මෙරට වෙළෙඳ පොළේ සහල් තොග අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර ඇති බවයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතා මෙසේ පවසයි.

     

    ‘‘ දැනට හාල් හිඟයක් ඇතැයි ඇතැම් මාධවල පලවන වාර්තා සත්‍යයයෙන් තොරයි. වී අලෙවි මණ්ඩලය සතුව තිබූ දේශීය වී මෙට්‍රික් ටොන් 50,000ක් සතොස මගින් ලබාගෙන රජයේ වී මෝල්වල කොටා දැනටමත් සහල් මෙට්‍රික් ටොන් 37,000ක් ලබාගෙන තිබෙනවා. සහ ඒ වගේ ම විදෙස් රටවලින් ආනයනය කළ සහල් තොග ලැබී තිබෙනවා. පසුගිය දින කිහිපයේ දී සහල් මෙට්‍රික් ටොන් 60,000ක් පමණ මෙරටට ලැබුණා. තවත් මෙට්‍රික් ටොන් 190,000ක් ඉදිරි දින කිහිපයේ දී ලැබීමට නියමිතයි.

     

    සහල් හිඟයක් පවතින බවට ගෙන යන ප්‍රචාරයන් වැරදියි. ඇතැම් පුද්ගලයන් පටු දේශපාලන වාසි තකා මේ වගේ කතා ප්‍රචාරය කරනවා. රජය උපරිම සිල්ලර මිලක් නියම කළා. දැන් අපේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන ස්ථාන සොයාබලනවා. ඒ වගේ ම යම් කෙනෙක් සහල් තොග සඟවාගෙන සිටිනවානම් ඒ අයටත් විරුද්ධව අපි නීතිය ක්‍රියාත්ක කරනවා. සහල් ප්‍රමාණවත් තරම් තිබෙන නිසා ලංකා සතොස වෙළෙඳ සැල් මගින් සහල් අළෙවි කිරීමේ දී පනවා තිබූ කිලෝ පහක උපරිම සීමාවත් අපි ඉවත් කළා.“

     

    ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ මේ දිනවල වව්නියාව සහ අම්පාර වැනි පෙදෙස්වල අස්වැන්න ලැබෙමින් පවතින බැවින් එම සහල් හිඟයක් ඇතිවීමට කිසිදු ආකාරයකින් ඉඩක් නොමැති බවයි.

     

    ලංකා සතොස සභාපති රොහාන්ත අතුකෝරළ මහතා පවසන්නේ පසුගිය දින හයක කාලයේ දී ශ්‍රී ලංකාව පුරා ඇති ලංකා සතොස අළෙවි සැල් 325 වෙත සහල් මෙට්‍රික් ටොන් 8000ක් බෙදා හැරි බවයි. තවත් සහල් මෙට්‍රික් ටොන් 7000ක් බෙදා හැරීමට සූදානම් කර ඇති බැවින් කිසිදු ආකාරයක සහල් හිඟයක් ඇති නොවන බව ද හෙතෙම කියා සිටියි. එමෙන් ම ලංකා සතොස අලෙවි සැල් වෙතින් සහල් මිල දී ගැනීමේ දී පනවා තිබූ උපරිම සහල් කිලෝ පහක සීමාව ඉවත් කර ඇති බවත් ඕනෑම අයකුට තමන්ට අවශ්‍ය පරිදි සහල් මිලදී ගත හැකි බවත් ලංකා සතොස සභාපතිවරයා පවසයි.

     

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා මෙසේ කීවේය. ‘‘ රජය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළා. ඒ අනුව කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 70.00යි. නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 72.00යි. සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 යි. මේ මුදලට වඩා වැඩි මිලට යම් පුද්ගලයකු හෝ ව්‍යාපාරික ස්ථානයක සහල් විකුණනවානම් අපි ඔවුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේ ම සහල් තොඟ සඟවාගෙන ඉන්නත් කිසිවෙකුට හැකියාවක් නැහැ. එයත් නීතයෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. අපේ නිලධාරී වැටලීම් කරමින් එලෙස නීතිය කඩකරන අයට එරෙහිව නීතිමය කටයුතු සිදුකරනවා. “

     

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තිලකරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ හාල් ආනයනකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් පසු ආනයනික සහල් සහ දේශීය සහල් සඳහා වෙන වෙනම උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පාරිභෝගික සභාව කටයුතු කරමින් සිටින බවත් එතෙක් දැනට පනවා ඇති උපරිම සිල්ලර මිල දේශීය හා ආනයනික සහල් දෙවර්ගයටම එකසේ බලපාන බවත් ය.

     

    සහල් හිඟයක් ඇති බවත් පාලන මිලට සහල් වෙළෙඳ පොළේ මිලදී ගැනීමට නොහැකි බවත් පවසමින් මාධ්‍යවල පලවී ඇති වාර්තා කිසිදු සත්‍යතාවකින් තොර බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතා පවසයි.

     

    මෙහි දී ඇතැම් වෙළෙන්දන් හා ව්‍යාපාරික ස්ථාන වැඩි මිලට සහල් විකිණීමට උත්සාහයක නිරතවන අතර ම ව්‍යාජ ලෙස සහල් හිඟයක් මවා පෑමට උත්සාහ ගන්නා බව ද වාර්තා වන බැවින් එවැනි තොරතුරක් ලැබුණහොත් හැකි ඉක්මණින් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හෝ කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හෝ දැනුම් දෙන ලෙස ද එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

     

    සජීව විජේවීර

    අධ්‍යක්ෂ මාධ්‍ය

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya