සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහන පාසල් සිසුන් වෙනුවෙන්

    පෙබරවාරි 08, 2017

    ජනතාව බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතිය පාසල් මට්ටමින් ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙන් අතර අද (08) දිවයිනේ සෑම පාසලකම ශරීර සුවතා වැඩසටහන් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    පාසල් ශරීර සුවතා ප්‍රවර්ධන වැඩසටහනක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර සියලුම පාසල්වල ශරීර සුවතා වැඩසටහන් දිනපතා පැවැත්විම සඳහා උපදෙස් පත්‍රිකාවක් පාසල් වෙත යොමු කර තිබේ.

    මීට සමගාමීව පාසල් මට්ටමින් ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතිය සැමරීමේ ජාතික උත්සවය එදින උදෑසන 7.30 ට බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලය, කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ ලුම්බිනි විද්‍යාලය, රාමනාදන් හින්දු විද්‍යාලය හා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ  සිසු සිසුවියන් 2,000 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි නොගැළපෙන ආහාර රටාව හා ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වීම, සිරුරේ බර පාලනය නොකිරීම, දුම් පානය, මත්පැන් පානය, මානසික ආතතිය, ව්‍යායාම නොමැති කම හා නොසැලකිල්ල බලපායි. එවැනි කරුණුවලින් මිදීම මගින් බෝ නොවන රෝගවලින් වැළකී නිරෝගිව සිටීමට හැකියාව ලැබේ. එම නිසා සෑම විටම නිරෝගිකම රැකගැනීමට වයසට සරිලන උසක් සහ උසට සරිලන බරක් පවත්වා ගැනීම, පෝෂ්‍යදායී ආහාර ගැනීම, ව්‍යායාම,ප්‍රමාණවත් නින්ද සහ විවේකය පවත්වා ගැනීම වැදගත් වේ. බෝ නොවන රෝග ලෙස අධිරුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව,පිළිකා හා මානසික රෝග හැඳින්විය හැකි අතර වර්තමානයේ පාසල් දරුවන් අතර ද  බහුලව මෙම රෝග ඇති බව හඳුනාගනු ලැබුවා.

    පාසල් දරුවන්ගේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපනය නගා සිටුවීම සඳහා පස් අවුරුදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර ජාතික මට්ටමින් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවය දෙමින් පාසල් ක්‍රීඩා උපදේශකවරුන් 3,800 ක් බඳවාගැනීමට ද කටයුතු ආරම්භ කර තිබෙන බව අමාත්‍යාශය පෙන්වා දෙයි.

    එසේම සියලුම පාසල් දරුවන් කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කටයුතු කිරීමට ද පියවර ගන්නා ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

     මීට අමතරව පාසල් ආපනශාලාවල ප්‍රමිතිගත ආහාරපාන ලබාදීම සම්බන්ධව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති  අතර පාසල් දරුවන් සඳහා පෝෂණ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya