සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය වෘත්තිය සමිති එකා මෙන් සහය දෙන්නේ නම් වර්ණවත් දුම්රිය සේවාවක් ජනතාවට ලබා දිය හැකියි

    පෙබරවාරි 06, 2017

    වෘත්තිය සමිති එකිනෙකා කා කොටා නොගෙන සමගියෙන් එකා මෙන්ම අප හට සහය දක්වන්නේ නම් ගුණාත්මක මෙන්ම වර්ණවත් දුම්රිය සේවාවක් ජනතාවට ලබාදිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (05) දින පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පැවති රැස්වීමකදී පැවසීය.

    කොළඹ සිට කළුතර දක්වා තිබු ද්විත්ව දුම්රිය මාර්ගය කළුතර සිට පයාගල දක්වා දීර්ඝ කිරීමේ අවස්ථාවට සහභාගී වීමට සහ අළුතින් දුම්රිය දෙපාර්තමේන්තුවට මිලදී ගත් මෝටර් ට්‍රොලි 03ක් නඩත්තු කටයුතු සඳහා මුදා හැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

     

    තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා :

    අද දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති අතර තිබෙන්නේ නයි මුගටි යුද්ධයක්. එකිනෙකා පරයමින් අනෙකාගේ බලය තහවුරු කර ගැනීමේ සටනක්. මේ තුළින් කිසිදාක දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවාවේ ගුණාත්මක භාවය දියුණු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අද සමස්ත මගී ජනතාවගෙන් 7% ක් පමණයි දුම්රිය පරිහරණය කරන්නේ. මෙය අවම වශයෙන් 25% දක්වාවත් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ තුළින් ජනතාවට මනා සේවයක් ලබාදෙමින් ජනතාව දුම්රිය සේවාව පරිහරණය කිරීමට ආකර්ෂණය කර ගැනීම තුළින් දෙපාර්තමේන්තුවට ලාභ ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.

     

    අද අපි මිලදී ගත් රුපියල් මිලියන 134ක් වටිනා මෙම මෝටර් ට්‍රොලි උපයෝගී කරගනිමින් දුම්රිය මාර්ගවල සිදුවන බිඳ වැටීම් සොයා බලා නඩත්තු කටයුතු හරියාකාරව ඉටු කර ගැනීමේ හැකියාවක් අපට ලැබෙනවා. මෙවැනි කටයුතු සිදු කිරීමට හැකිව තිබෙන්නේ අප විසින් ආරම්භ කර ඇති භෞතික සම්පත් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළ තුළිනි. මෙපමණක් නොව ඉදිරියේදී උඩරට දුම්රිය ගමනාගමනය සඳහා මේ වන විට දුම්රිය එන්ජින් , මැදිරි මිලදී ගැනීමට අමාත්‍යාංශය විසින් කටයුතු ආරම්භ කරලා තියෙනවා.

     

    එම කටයුතු ඉතාමත්ම විනිවිද භාවයකින් යුතුව ටෙන්ඩර් පරිපාටි වලට අනුව සිදු කර තිබෙනවා. නමුත් මේවාටත් නිර්නාමික පෙත්සම් යවමින් එම වැඩ කටයුතු කඩා කප්පල් කිරීමට විවිධ සංවිධාන, සමිති දුම්රිය දෙපාර්තමේන්තුව තුළ සිටිනවා. ඒ අයට බොහෝම ලේසියි නිර්නාමික පෙත්සම් යැවීම. භෞතික සම්පත් සංවර්ධනයට මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලයක් පුරා පැවති මානව සම්පත් සංවර්ධනය කිරීමට වත්මන් ප්‍රවාහන ඇමතිවරයා ලෙස මා කටයුතු කරලා තිබෙනවා. නමුත් දුම්රිය වෘත්තිය සමිතිවල තිබෙන ඒකාධිකාරය නිසා මේවා නිසි වේලාවට ඉටු කර ගැනීමට අපට නොහැකි වී තියෙනවා. අද දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවල තනතුරු අතර කුලභේදයන් ඇති වී තිබෙනවා.

     

    මෙම තත්ත්වය ආයතනයක් ලෙස දියුණු වීමට තිබෙන ලොකුම බාධාවක්. ප්‍රවාහන ඇමතිවරයා හැටියට දෙපාර්තමේන්තුවේ සිටින කම්කරුවාගේ සිට දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා දක්වා මා සලකන්නේ එක ලෙසටයි. සියලුම සේවකයින්ගේ සේවාවන් අපි අගය කළ යුතුයි. මේ සෑම කෙනාම වෘත්තියෙන් තෘප්තිමත් වුණොත් පමණයි දෙපාර්තමේන්තුව තුළින් ජනතාවට මනා සේවාවක් ලබා දීමට හැකි වන්නේ. ඒ සඳහා අපි සැවොම එක්වී කටයුතු කරන ලෙසට මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.

     

    අමාත්‍යවරයා මෙම රැස්වීමෙන් අනතුරුව අළුතින් සේවා කටයුතුවලට මුදා හළ මෝටර් ට්‍රොලියකින් කොළඹ කොටුවේ සිට දකුණු කළුතර දක්වා ගමන් කරන ලදී. ඉන් අනතුරුව කළුතර සිට පයාගල දක්වා ඉදි කිරීම් ආරම්භ කර ඇති ද්විත්ව දුම්රිය මාර්ගයේ පීලී එලීමේ කටයුතුද නිරීක්ෂණය කිරීමට සහභාගි විය. මෙතෙක් කොළඹ සිට කළුතර දක්වා වු ද්විත්ව දුම්රිය මාර්ගය දෙපාර්තමේන්තුව විසින් කළුතර දකුණ සිට පයාගල දක්වා කිලෝමීටර 07 ට ආසන්න දුරක් ද්විත්ව මාර්ගයක් ලෙස පුළුල් කෙරෙන අතර මේ සඳහා රුපියල් මිලියන 762 ක් වැය කරනු ලබයි.

     

    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර, දුම්රිය සාමාන්‍යාධීකාරි බී.ඒ.පී.ආරියරත්න යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya