සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලගතු ශ්‍රී ලංකාවක් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත ගමනක් යනවා - රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

    පෙබරවාරි 06, 2017

    බලගතු ශ්‍රී ලංකාවක් ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගත ගමනක් පියනගමින් සිටින වත්මන් රජය ජනතා අපේක්ෂාවන් යථාර්තවාදී ලෙස ඉටු කිරීමට බැදී සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    ජනතා සහන සහ රටේ ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳව අඳහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි

     

    ගත වූ දෙවසර තුළ බලගතු ශ්‍රී ලංකාවක පදනම රජය විසින් නිසැකවම ගොඩ නගා ඇති බවද අදාළ නිවේදනයේ දැක් වේ. දේශප්‍රේමිත්වය එකම ආයුධය කර ගනිමින් රුපියල් බිලියන නව දහසකට වැඩි ණය උගුලක රට සිර කළ ගෙවුණු රාජපක්‍ෂ දශකය  දේශපාලන වාසි වෙනුවෙන් භෞතික සම්පත් ගොඩ නැගීමේ තරගයක නිරත වුණා.

     

    අද වන විට රාජ්‍ය සම්පත්වල වටිනාකම පිළිබඳව වහසි බස් දොඩන විරුද්ධ මතධාරීන් ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, වරාය අධිකාරිය, විදුලි බල මණ්ඩලය වැනි අතීතයේ ශක්තිමත්ව තිබු රාජ්‍ය ව්‍යවසායන් රුපියල් බිලියන 1279ක ණය උගුලක සිර කර අවසන්.

     

    නපුරු හීනයක් දැක හදිසියේ අවදි වුවන් ලෙස කතා කරන මෙම රාජපක්‍ෂ කල්ලියේ ඒකාබද්ධ  ගෝත්‍රිකවාදීන් නිතරම පවසන්නේ යහපාලනය ජනතා සහන කප්පාදු කළ බවයි. එහෙත් අප ඔවුන්ට සිහි ගැන්විය යුතු කරුණු කිහිපයක් තිබේ. එනම් ව්‍යාජ දේශප්‍රේමින් සිය පාලන කාලයේ ගොවියන් වෙනුවෙන් පොහොර සහනාධාර සඳහා වෙන්කළේ බිලියන 20කට මදක් වැඩියෙනි.

     

    වත්මන් යහපාලනය තුළ එය දෙගුණයක් කරමින් බිලියන 50ක ප්‍රතිපාදන ගොවියා වෙනුවෙන් වෙන් කල බව අවධාරණය කළ යුතුයි. සමස්ථ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 2%ක් වෙන් කර ගත නොහැකිව කයිවාරු ගැසූ මෙම අන්තවාදී දේශපාලුවන්ට අප මතක් කර දෙන්නේ යහපාලන රජය දැයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෑත ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන වෙන් කළ බවයි.

     

    2017 වර්ෂයේදී රජය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදනයෙන් 2.5% ට වැඩිවේ. ජාතියේ අනාගතය භාර ගන්නා අපේ දරුවන් වෙනුවෙන් පාසල් නිල ඇදුම් සහ පෙළපොත් සඳහා පමණක් බිලියන 07ක් රජය විසින් වැය කරනු ඇත.  

     

    වාමාංශික බල වේග විසින් දුප්පතා වෙනුවෙන් කිරුළු පැළදු බව කියන කටු ඔටුනු ලා ගත් ඇතැම් පාලකයන් සමෘධිය සඳහා වෙන්කර තිබෙන්නේ බිලියන 15ක්. නමුත් අපේ රජය රුපියල් බිලියන 44ක් සමෘධිලාභීන් වෙනුවෙන් වෙන් කර ඇති බව අයවැයෙන් රටටම ප්‍රකාශ කර අවසන්. මිග් යානාවෙන්, ටි 56 ගිනි අවියෙන් කොමිස් ගැසූ අතීතය වගේම බෙහෙත් පෙත්තෙන්ද පෞද්ගලික ලාභ ලැබූ බව නොරහසක්. අඩු අදායම්ලාභී ජනතාව වෙනුවෙන් වත්මන් රජය කෙටි කලක් තුල ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

     

    2017 වසරේදී සෞඛ්‍ය වෙනුවෙන් රජය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2% කට අසන්න ප්‍රතිපාදන වෙන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

     

    ගරු අග්‍රාමාත්‍යතුමන් බලගතු ශ්‍රී ලංකාවක් වෙත පිය නගන සැලසුම් සහගත වැඩපිළිවෙල පසුගියදා ජාතිය හමුවේ ප්‍රකාශයට පත් කළා. ඒ තුළ පැහැදිලි කර ඇත්තේ  ජාත්‍යන්තරයත් සමඟ බද්ධ වූ සමබර සංවර්ධන පිළිවෙතයි.

     

    රටේ සියලු ක්ෂේත්‍ර වලට රජය විසින් ලබා දී ඇති නිදහස පිලිබඳ ඇතැම් පිරිස් වලට  අවබෝධයක් නොමැති වන්නට පුළුවන්. එහෙත් රාජපක්ෂ පාලනය දායාද කළ සුදු වෑන් සංස්කෘතිය, ජාතිවාදී අරගල, කොමිස් සංස්කෘතිය අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමාගේ මගපෙන්වීමෙන් අප වෙනස්කළ බව සඳහන් කළ යුතුයි.

     

    මධ්‍ය කාලින උපායමාර්ගික වැඩපිළිවෙලෙහි රැකියා දසලක්ෂයක් බිහිකිරීම, අදායම් මට්ටම ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය, ඉඩම් අයිතිය ලබාදීම සහ ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහිකිරීම වෙනුවෙන් අප්‍රතිහත උත්සාහයෙන් අප ඉදිරියට ගමන් ගන්න බව ප්‍රකාශ කළ යුතුයි යැයි ද අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya