සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යතුරුපැදි කරුවන්ට ප්‍රමිතියෙන් යුත් හිස්වැසුම් අප්‍රේල් 01දා සිට

    පෙබරවාරි 01, 2017
    යතුරුපැදිකරුවන් සඳහා ප්‍රමිතියෙන් යුතු හිස්වැසුම් පැළඳීම ලබන අප්‍රියෙල් 01දා සිට ක්‍රියාත්මක කරන බවත් මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත්, පාරිභෝගික අධිකාරියත් සහය දැක්වීමට සුදානම් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හඳුනා නොගත් වාහන අනතුරුවලින් බරපතල තුවාල ලැබුවන්ට හා මියගිය අයගෙන් යැපෙන්නන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවකදී ඊයේ දින (30) පස්වරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදීය.
     
    මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ප්‍රමුඛතාව විය යුත්තේ වින්දිතයන්ට උදව් කිරීම හා ඉදිරි වසරවලදී වින්දිතයන්ගේ සංඛ්‍යාව අවම කරගැනීම බව පෙන්වාදුන් අමාත්‍යවරයා  ශ්‍රී ලංකාව පුරා දෛනිකව සිදුවන අනතුරුවලට අනුව 2015/2016 වසරේ පමණක් හඳුනා නොගත් රිය අනතුරුවලින් 215 දෙනෙකු මියගොස් ඇති බවද  එමෙන් ම බරපතල තුවාල ලැබු සංඛ්‍යාව 400ක් වී ඇති බව ද පෙන්වා දුන්නේය.
     
    මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ එක් වැඩ පිළිවෙලක් ලෙස "හරිමග සමාජ සත්කාරය" මගින් හඳුනානොගත් මාර්ග අනතුරුවලින් මියගිය සහ බරපතල තුවාල ලැබුවන්ට 2008 වසරේ සිට වන්දි ලබාදීමට පියවර ගෙන ඒ අනුව 2008 සිට බරපතල තුවාල ලැබුවන් 137 දෙනෙකු සඳහා රුපියල් හැත්තෑ හය ලක්ෂ පනස් දහසක මුදලක් ද (7,650,000), මියගිය අය 165ක් වෙනුවෙන් එක් කෝටි පහලොස් ලක්ෂ පනස් දහසක් ද (11,550,000), ගෙවීමට හැකි වී ඇත. මෙතෙක් බරපතල තුවාල ලැබුවෙකුට ගෙවන ලද රුපියල් 75,000 වන්දි මුදල රුපියල් ලක්ෂය (100,000) දක්වාත් මියගිය අයෙකු වෙනුවෙන් ඒ අයගේ පවුලේ ඥාතීන්ට රුපියල් ලක්ෂය බැගින් වු වන්දිය රුපියල් ලක්ෂ දෙක දක්වාත් වැඩි කිරීමට ද යෝජනා වී ඇත.
     
    මෙම අවස්ථාවේ දී බරපතල තුවාල ලැබුවන් 18 දෙනෙකුට වන්දි මුදල ලෙස රුපියල් ලක්ෂ 18ක් ද, මරණයට පත්වුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 23ක් ද ගෙවීම සිදු විය. 
     
    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රීලංකා නියෝජිත මිරන්ඩා ෆොරීන් යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන්ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya