සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ වැරදි ක්‍රමවලින් ආනයනය කිරිම අවම වෙයි

    ජනවාරි 27, 2017
    ඖෂධ සහ ශල්‍ය උපකරණ මිල ඉදිරියේ දී තවත් අඩු කිරීමට කටයුතු කරන බවත් ඖෂධ වැරදි ක්‍රමවලින් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම වර්තමානයේ අවම වී තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය, රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැති ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරය අමතමිනි.
     
    අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල නියාමනය කිරිම නිසා මෙලෙස වැරදි ක්‍රමවලින් ඖෂධ රැගෙන ඒම අඩුවී ඇතැයි පෙන්වාදෙන අමාත්‍යවරයා එමෙන්ම ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් සිටින්නේ සීමිත නිලධාරින් පිරිසක් බවත් ඔවුන් ඉටු කරන සේවය ඉතා වැදගත් අතරම එම තනතුරේ පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන බවත් පෙන්වා දුනි. 
     
    "ශ්‍රී ලංකාව ඖෂධ මිල පාලනය කිරිම ආරම්භ කළ පසුව ඇමරිකාව ඖෂධ මිල පාලනය කිරිම ආරම්භ කර තිබෙනවා. ඇමරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩි ට්‍රම්ප් එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශ කළා. රජකම නැති නම් වෙදකම කියා අපගේ ඉතිහාසයේ ප්‍රකට කියමනක් තිබෙනවා. ඈත අතීතයේ එක් වෛද්‍යවරයෙකුට එක් හෙදිය බැගින් සිටියත් අද එම ඉළක්කය සපුරා ගැනීමට නොහැකි වී තිබෙනවා. රෝගී ජනතාවට ප්‍රතිකාර කිරීමෙන් නොමිලේ පිං ලැබෙනවා” යැයි ද කීය. 
     
    "රුපියල් බිලියන 60ක ඖෂධ ලංකාවට ආනයනය කරන නමුත් ඉන් බිලියන 30ක ඖෂධ රජය මගින් ආනයනය කරන්නේ. ඖෂධ මිල අඩු කිරීමෙන් මිලියන 06ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉතිරි කර ගැනීමට හැකිවුණා. දුම්කොළ සඳහා සියයට 90ක බදු පැනවීමේ දී විවිධ ගැටළුවලට මුහුණදීමට සිදු වුණා. දුම්කොළ සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජන අත්හිටුවන බව ප්‍රකාශ කළා. නමුත් එම සමාගම අදටත් දුම්වැටි අලෙවි කරනවා. ඖෂධ මිල අඩු කිරීමේ දී බහුජාතික සමාගම් වසා දමන්න වෙනවා කියලා ප්‍රකාශ කළා. නමුත් වසා දැමුනේ නැහැ. ඖෂධ මිල අඩු කිරිම තුළින් සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. ඖෂධ සමාගම් මොන දේ ප්‍රකාශ කළත් එම සමාගම්වල අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් හොඳ කථිකාවතක් ඇති කිරීමට පියවර ගත්තා. එම අලෙවි ප්‍රවර්ධන නිලධාරි සමාගම්වල තොරතුරු අපට ලබාදෙනවා" යැයි ද පැවසීය.
     
    "අක්ෂි කාච ජාවාරම නැති කිරීමටත් පියවර ගන්නවා. අක්ෂි කාච ජාවාරම ගැන තොරතුරු ලබා දුන්නෙත් අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් එම තොරතුරු පදනම් කර ගනිමින් සිදු කළ සොයා බැලීමේ දී එහි ජාවාරමක් සිදුවන බව අනාවරණය වුණා. රුපියල් 6000 කට ඉන්දියාවෙන් ආනයනය කරන අක්ෂි කාච රුපියල් 30,000 කට දේශීය වෙළෙඳපොලේ අලෙවි කරනවා. ලබන සතියේ දී අක්ෂි කාච මිල රුපියල් 20,000 කින් අඩු කිරීමට පියවර ගන්නවා" යැයි ද පැවසුවේය. 
     
    මෙහිදී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා දැක් වූ කැපවීම අගය කරමින් ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට උපහාර තිළිණයක් ද පිරිනමන ලදි. 
     
    මෙම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ඛෙනරගම, ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අමිත් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya