සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ - මාතලේ සීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ වෙයි

    ජනවාරි 22, 2017

    ගමනාගමන සේවය පාඩු ලබමින් හෝ ජනතාවට සේවයක්  ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


    කොළඹ - මාතලේ සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් පසුගියදා ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    "ගමනාගමන සේවය ජනතාවට සේවයක් සපයන ක්ෂේත්‍රයක් බව අපේ රජයත් පිළිඅරගෙන තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස අපි මේ ජාතික රජයට එකඟ වුයේ මේ ප්‍රතිපත්ති පිළිගත්ත නිසා .එක පැත්තකට යන්න දෙන්නේ නැතුව අපි මේ ප්‍රවාහන ක්ෂේත්‍රය යම් ආකාරයකට ජනතාව වෙනුවෙන් රජය මගින් පාඩුවට හෝ ගෙනියන්න ඕන  කියන සංකල්පය අප තුළ තිබෙනවා. මේ දුම්රිය සේවාව වඩාත්ම යථාවත් කරලා පොදු දුම්රිය සේවාවක් ලබාදෙන්න ඉන්දියානු ණය ආධාර යටතේ අපි දුම්රිය මැදිරි 160 ක් දුම්රිය එන්ජින් කටට්ල 20 ක් ගැනීමට කටයුතු යොදලා තියෙනවා. ඊට අමතරව උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට විශේෂයෙන් යුරෝපයේ නිශ්පාදනය කරන දුම්රිය එන්ජින් ගැනීම සඳහා වැඩ කටයුතු කරගෙන යනවා. නමුත් එවාට ඇණවුම් අද දීල හෙට ගන්න පුලුවන්කමක් නැහැ. අවුරුදු එකහමාරක් විතර මේ සඳහා ගතවෙනවා. ඉන්පසු අපට මේ දුම්රිය සේවය යථාවත් කරන්න ශක්තිමත් කරන්න පුලුවන් වේවි.  ඒ වගේම දුම්රිය මාර්ගය ශක්තිමත් කරන්න ඕන. දුම්රිය මාර්ගය ශක්තිමත් වුනේ නැත්නම් දුම්රියට අධික වේගයෙන් ගමන් කරන්න බැහැ. ඇතැම් අය ඉල්ලීම් කරනවා මේ දුම්රිය සෑම දුම්රිය ස්ථානයකම නවත්තන්න ඕන කියලා ඒත් සමහරු කියනවා සීඝ්‍රගාමීව මේ ගමන් කරවන්න ඕන කියලා. මේ කරුණු කාරණා සියල්ලම සමතුලිතව කල්පනා කරලා අපට කටයුතු කරන්න සිදුවෙනවා. සියල්ලන්ගේම අදහස් හිතට අරගෙන වඩාත් ප්‍රායෝගිකවුත් අදහස් අපට ක්‍රියාත්මක කරන්න සිදුවේවි.

    අද මහාමාර්ග වල විශාල  ලෙස මාර්ග තදබද තිබෙනවා. එදා ත්‍රීකුණාමලයේ සිට ගල් අඟුරු ප්‍රවාහනය කලේ කන්ටේනර් මගින් ඒ දිනවල දිනකට කන්ටේනර් 90 ක් විතර මේ සඳහා මහාමාර්ගයේ ධාවනය කලා. මේ කන්ටේනර් නිතර හැප්පෙනවා. මේවාගේ තියෙන ගල් අඟුරු කුඩු පරිසරයට එකතු වෙනවා පරිසරය දුෂණය වෙනවා. ඒ නිසා අපි තීන්දුවක් ගත්තා මේ ගල් අඟුරු දුම්රියෙන් ප්‍රවාහනය කරන්න ඕන කියලා. ඒ නිසා මම විශේෂ දුම්රියක් ගල් අඟුරු ප්‍රවාහනයට යෙදවුවා. දැන් පාරේ දවසකට එන ඒ කන්ටේනර් 90 නතර වෙලා තිබෙනවා. වාහන තදබදය අඩුවෙලා තිබෙනවා. පරිසරය සංරක්ෂණය වෙලා තියෙනවා. ඕවා තමයි දේශපාලඥයන් ගන්න තීන්දු වලින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ. ඒත් මේවා සමහර අයට පේන්නේ නැති  බව කණගාටුවට කාරණාවක්. ’’ බව ප්‍රකාශ කලේය.

    පසුගියදා ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රිය මගින් ප්‍රවාහනය කරන්නත් අපි ගිවිසුම් අත්සන් කළ අතර එහිදී මහාමාර්ගයේ සිදු වන වාහන තදබදය අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන් අතර දුම්රිය ආදායම වැඩි කිරීමටද කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.


    එමෙන්ම අද වන විට සමස්ත මගී ප්‍රමාණයෙන්  8% ක් පමණයි දුම්රියෙන් ගමන් ගන්නේ. වැඩි ප්‍රමාණයක් ගමන් ගන්නේ බස් රථ වලින්. ඒ වගේම තමන්ගේ වාහන වලින්. බස් රථ, මෝටර් රථ, බයිසිකල් වල යන මගී ජනතාව දුම්රිය වෙතට නැඹුරු කරවාගන්න ඕන. එසේ නම් ඒ සඳහා හොඳ ප්‍රවාහන සේවාවක් අපි ලබාදෙන්න ඕන. තමන්ගේම වාහනයක යන්න ඕන කියලා සංකල්පයකුත් අපේ රටේ තියනවා. ජීවිතයේ ගුණාත්මක බව වැඩිවන විට ඒ තත්ත්වය සාධාරණයි. ඒත් ඒ නිසා පාරවල් වල තදබදය වැඩිවෙනවා. ඒත් වාහන වැඩිවුනාට මහාමාර්ග පුළුල් කරන්න පුලුවන් කමක් නැහැ. ඒ සඳහා ඉඩකඩ ලබාගැනීමට යාමේදී උද්ගෝසන විරෝධතා ඇතිවෙනවා. මේ වාගේ අභියෝග රාශියක් තිබෙනවා. මේ අභියෝග පිළිබඳව මේ රටේ ජනතාවත් තේරුම් ගන්න ඕන. මේ ගැන දේශපාලඥයන් ලෙස අපි තේරුම් ගෙන තිබෙනවා. මේ අභියෝග අභිබවා කොහොමද ජනතා සේවය නිවැරිදි ලෙස ඉටුකරන්නේ කියලා අපි තේරුම් අරගෙන තියනවා. ඒ නිසා ඒ වැඩ කටයුතු අපි කරගෙන යනවා. ගමනාගමන ක්ෂේත්‍රයේ මේ ආකාරයෙන් කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා දුම්රියක් යෙදවීම විශාල කර්තව්‍යක් නොවුනත් සුළු කාර්යයක් හෝ ජනතාවට ඉටුකරදීමට හැකිවීම සතුටට කරුණක් බවද මේ ගැන කෘතවේදීත්වයෙන් සිටින පිරිසකුත් රටේ ගමන ගැන සංවේදීභාවයෙන් හා ප්‍රශංසාවෙන් කටයුතු කරන පිරිසක්ද සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.

    මාතලේ ප්‍රදේශයේ මගී ජනතාවගේ වසර ගණනක සිට පැවති ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස කොළඹ කොටුවේ සිට මාතලේ දක්වා අර්ධ සීඝ්‍රගාමී දුම්රියක් සති අන්තයේදී ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සතියේ සිකුරාදා දින පස්වරු 02.20 ට ගමන් ආරම්භ කරන අතර රාත්‍රී 07.13 ට මාතලේ දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතව ඇත. මෙම දුම්රිය කොළඹ සිට මහනුවර දක්වා ප්‍රධාන දුම්රිය ස්ථානවල නවත්වන අතර නුවර සිට කටුගස්තොට, උඩතලවින්න, වත්තේගම, උකුවෙල යන දුම්රිය ස්ථානවල නවත්වනු ලැබේ.

    මෙම දුම්රියේ දෙවන පන්තියේ මගී මැදිරි 01කින් සහ තුන්වන පන්තියේ මගී මැදිරි 04 කින් සමන්විත වන අතර දෙවන පන්තියේ මගී ආසන 56 ක් සහ තුන්වන පන්තියේ ආසන 240ක් ඇත. සමස්ත දුම්රියේම අසුන් ගෙන ගමන් කළ හැකි  මුලු මගීන් සංඛ්‍යාව 296 කි.

    මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 06.40 ට මාතලේ දුම්රිය ස්ථානයෙන් නැවත ගමන් ආරම්භ කොට පෙරවරු 11.15 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එමෙන්ම කොළඹ කොටුව සිට මාතලේ දක්වා සති අන්තයේ Rcq දුම්රියක් ධාවනය කරන ප්‍රථම අවස්ථාව මෙය බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ,රෝහිනී කවිරත්න, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත ලක්ෂ්මන් පෙරේරා යන මැති ඇමතිවරුන් දුම්රිය සාමාන්‍යාධීකාරී බී.ඒ.පී.ආරියරත්න මහත්ම මහත්මීන්ද මෙම සමාරම්භක අවස්ථාවට සහභාගි  වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya