සිකුරු සහ බුධ යන ග්‍රහලෝක දෙකම පෘථිවි කක්ෂයට ඇතුළතින් සූර්යයාට ආසන්න ඉලිප්සාකාර ගමන් මාර්ගවල සූර්යයා වටා පරිභ්‍රමණය වේ. තවද මෙම ග්‍රහලෝක දෙකෙහි පරිභ්‍රමණ වේග අනෙක් ග්‍රහලෝකවලට වඩා වැඩි බැවින් පෘථිවිවාසීන්ට නිරීක්ෂණය කළ හැකි කාලය එක් වරකදී සති කීපයකට පමණක් සීමාවේ.
ජනවාරි 12දා සූර්යයා සහ සිකුරු ග්‍රහලෝකය අතර කෝණය අංශක 47.1 ක උපරිම අවස්ථාවකට පත්ව සිකුරු ග්‍රහලෝකය වෙනදාට වඩා දීප්තිමත්ව දැකගත හැකි විය. මෙය (Venus at Greatest Elongation ) ලෙස හඳුන්වයි.
19දා බුධ ග්‍රහලෝකයද මෙවැනිම පිහිටීමකට (Mercury at Greatest Western Elongation) පැමිණෙයි. එවිට බුධ ග්‍රහලෝකය හා සූර්යයා අතර කෝණික පරතරය අංශක 24.1 ක උපරිම අවස්ථාවකට පත්වේ. එදින පාන්දර 5.00 සිට හිරු උදාව තෙක් නැඟෙනහිර අහසේදී අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වන බුධ ග්‍රහලෝකය වෙනත් දිනවලට වඩා දීප්තිමත්ව දැකගත හැකි වනු ඇත.
චන්ද්‍රයා කොටස් වශයෙන් පෙනීම චන්ද්‍රයාගේ කලා වෙනස ලෙස හඳුන්වයි. චන්ද්‍රයාගේ හෝ ඕනෑම ආකාශ වස්තුවක කලා වෙනස ඇතිවන්නේ , සූර්යයා සහ පෘථිවිය අතරින් එය ගමන් කරන විටයි. ඒ අයුරින් ම සිකුරු සහ බුධ ග්‍රහලෝක සූර්යයා සහ පෘථිවිය අතරින් ගමන් කරන විට සිකුරු සහ බුධ ග්‍රහලෝකවලත් කලාවන් ඇතිවේ.