අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් සේවාවක් ජනතාවට ලබා දීම සඳහා කැප වී කටයුතු කරමු- අමාත්‍ය මහින්ද අමරවීර

    ජනවාරි 02, 2017

    නව වසරේ තමන්ගේ අඩු පාඩු හදාගෙන, යහපත් සේවාවක් ජනතාවට ලබා දීම සඳහා කැප වී කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ගැටළු විසඳා ගැනීමට අමාත්‍යාංශයට එන ධීවර ප්‍රජාව සතුටු කළ හැකි පිළිතුරක් ලබා දී, ඔවුන්ගේ ගැටළු විසඳීමට 2017 වසරේ සිහියේ තබා ගත යුතු යැයි, ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පවසයි.


      2017 උදා වූ නව වසරේ රාජකාරී ඇරඹීමේ උත්සවයක් අද දින පෙරවරුවේ (02) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.එහිදී පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    මෙහි දී රාජකාරියට කැපවීමේ ප්‍රකාශය සියළුම නිලධාරීන් එක්ව කියවූ අතර, වැඩසටහන අවසානයේ අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස ඇමතීය.

     

    කාර්යාලයක වැඩ කරන සේවකයින් දෙස බලන විට වර්ග 04කට අයත් සේවකයෝ ඉන්නවා. එක කණ්ඩායමක් ඉන්නවා උදේම එනවා ප්‍රමාද වෙලා යනවා. තමන්ට තිබෙන රාජකාරිය පමණක් නොව, වෙනත් රාජකාරීනුත් සොය සොයා ජනතාවට සේවය කරනවා. එවැනි සේවකයෝ නිසා තමයි ආයතන බබළන්නේ. ඒ වගේම තවත් කණ්ඩායමක් ඉන්නවා කාර්යයාලයට එන්නේ ප්‍රමාද වෙලා. ඇවිත් කරන්නේ අනුන් විවේචනය කරමින් වැඩකරන කෙනෙකුටත් වැඩ කිරීමට ඉඩ නොදී, කඩා කප්පල් කිරීමයි. එවැනි පුද්ගලයින් නිසා ආයතන පිරිහෙනවා.

     

    ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා වෙලාවට ඇවිල්ලා වෙලාවට පිටවෙනවා. තමන්ගේ රාජකාරිය හරියට කරනවා. එවැනි අයත් හොඳයි. තවත් සමහරු ඉන්නවා වැඩට එනවා හැබැයි තමන්ට පැවරිච්ච රාජකාරියවත් කරන්නේ නෑ. පුළුවන් තරම් කඩා කප්පල් කරන්න තමයි උත්සාහ කරන්නේ. එම නිසා සියළුම රාජ්‍ය සේවකයෝ තමන් අයිති වෙන්නේ මේ අයගෙන් කුමන කණ්ඩායමට ද කියලා ස්වයංව තීරණය කළ යුතුයි.

     

    2017 වසර ධීවර අමාත්‍යාංශයට සුවිශේෂී වසරක්. මේ අවුරුද්දේ අපි කාර්යක්ෂම සේවකයා තේරීමේ තරගයක් පවත්වනවා. සමහර විට ඒ කාර්යක්ෂම සේවකයා නිලධාරියෙක් වෙන්නත් පුළුවන් වෙනත් සේවකයෙක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අපි කාර්යක්ෂම සේවකයා තෝරා ගෙන ඔහුගේ සේවාව ඇගයීම සඳහා කටයුතු කරනවා.

     

    ධීවර අමාත්‍යාංශය වෙත සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන ධීවර ප්‍රජාව නිසා තමයි මේ අමාත්‍යාංශය තිබෙන්නේ. ධීවර ප්‍රජාව තමන් කරන රැකියාව අතහැර දැම්මොත්, මේ අමාත්‍යාංශය වැඩකුත් නැහැ. නිලධාරීන්ගෙන් ඇති වැඩකුත් නැහැ. සමහර වෙලාවට මම දකිනවා අපේ සමහර සේවකයෝ කටයුතු කරන ආකාරය. සමහර අවස්ථාවල සමහරු මේසයට ඔළුව තියාගෙන නිදා ගන්නවා. තවත් සමහරු පරිඝනකයෙන් ෆේස් බුක්වලට කමෙන්ට්ස් දානවා. තවත් සමහරු පොත් කියවනවා. පොත් කියවන එක වැරදි දෙයක් නෙමෙයි. නමුත්, ඒ කියවන පොත් ඉතා හොඳ පොත් නම් ගැටළුවක් නැහැ.

     

    ඒ නිසා මම මේවා කියන්නේ ඔබව විවේචනය කිරීමට නොවේ. ඔබේ අඩු පාඩු පෙන්වා දෙන්නට. එම නිසා මේ නව වසරේ තමන්ගේ අඩු පාඩු හදාගෙන, යහපත් සේවාවක් ජනතාවට ලබා දීම සඳහා කැප වී කටයුතු කරනු ඇතැයි, මම විශ්වාස කරනවා.

     

    රාජ්‍ය සේවකයින් නීතිය අනුව, විශ්‍රාම යනවා. තමන්ගේ රාජකාරී කටයුතු නිවැරදිව ඉටු කළහොත් ඔහුට නියමිත කාළය අවසන් වන තෙක් සේවය කළ හැකියි. නමුත්, දේශපාලනඥයින් විශ්‍රාම ගන්නේ කවදාද කියන කාරණාව පිළිබඳ තීරණය කරන්නේ දේශපාලනඥයා නොවෙයි. ඒක තීරණය කරන්නේ මහ ජනතාව. මහ ජනතාව දේශපාලනඥයා ප්‍රතික්ෂේප කළ දවසට දේශපාලනඥයා විශ්‍රාම යා යුතුයි.

     

    එම නිසා මේ ලැබුවා වූ නව වසර සියලු දෙනාටම සාමයෙන් සතුටෙන් පිරි නව වසරක් වේවායි, මම ප්‍රාර්ථනය කරනවා. ඒ වගේම 2017 වසර මේ රජයට වසර 03ක් සපිරෙනවා. එම නිසා රටේ සංවර්ධනය උදෙසා විශාල වැඩ කොටසක් අපිට ඉටු කරන්නට ඉඩ තියෙනවා. එම කරුණු සිහිපත් කරමින් ඔබට සුභ නව වසරක් වේවායි මම ප්‍රාර්ථනය කරනවා යැයි ද, අමාත්‍යවරයා කීය.

     

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට අමාත්‍යාංශ ලේකම් මංගලිකා අදිකාරී මහත්මිය ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya