අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘතීම කඩදාසී යොදාගනිමින් භූගෝල විද්‍යාව පෙළ පොත මුද්‍රණයෙන් මුදල් නාස්තියක් නැහැ

    දෙසැම්බර් 29, 2016

    කෘතිම කඩදාසි යොදාගනිමින් 7 වසර භූගෝල විද්‍යාව පෙළ පොත මුද්‍රණය කිරීමෙන් කිසිදු ‍මුදල් නාස්තියක් හෝ අයහපතක් සිදුවන්නේ නැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    2017 වසර සඳහා 7 වසර භූගෝල විද්‍යාව පෙළපොත මුද්‍රණය කිරීමේ දී ඒ සඳහා සාමාන්‍ය කඩදාසි වෙනුවට කෘතිම කඩදාසි යොදාගැනීමෙන් රුපියල් මිලියන 132ක පාඩුවක් වී ඇති බව ‍පවසමින් ලංකා ගුරු සේවා සංගමය එල්ල කරන චෝදනා පදනම් විරහිත සහ අතාර්කික බවින් යුක්ත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    2017 වසර සඳහා කෘතිම කඩදාසිවල පෙළපොත් මුද්‍රණය කිරීමේ නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා වඩාත් සාධනීය ලක්ෂණ සහිත පෙළපොත් හඳුන්වා දීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ව්‍යෘපෘතියකි.

     

    කලු සුදු වර්ණයෙන් බහු මාධ්‍යවලට මාරුවීම, වර්ණ ඡායාරූප භාවිතය, ප්‍රමිතියෙන් ඉහළ කඩදාසි භාවිතය, වර්ණවත් පිටකවර භාවිතය වැනි නව තාක්ෂණික ක්‍රමවේදයන් යොදාගනිමින් දරුවන්ට ආකර්ෂණීය ලෙස පෙළපොත් නිර්මාණය කිරීම නොමිළේ පෙළ පොත් ලබාදීමේ වැඩසටහනේ ගුණාත්මකභාවය සහ සාර්ථකත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදුකළ යුත්තකි. එය හුදෙක් දරුවන් වෙනුවෙන් සිදුකරන ක්‍රියාවලියක් විනා මුද්‍රණකරුවන්ගේ අවශ්‍යතා, ඔවුන්ගේ පහසුකම් සහ තරඟකාරී වෙළඳපොළට ප්‍රවිෂ්ඨවීමේ දුර්වලතා සඳහා ප්‍රතිචාර දක්වමින් සිදු කරන්නක් නොවේ.

    දැනට ඕෆ්සෙට් ක්‍රමයට මුද්‍රණය කර නිකුත් කරනු ලබන භූගෝල විද්‍යා පොත්වල මුද්‍රිත සිතියම්වල තත්ත්වය ද  ඉතා දුර්වල මට්ටමක පවතියි. මෙම පෙළපොත්වල සිතියම් ආශ්‍රිතව සහ වර්ණ ආශ්‍රයෙන් ප්‍රශ්න ගොඩනැගෙන බැවින් ඉතා නිවැරදි සිතියම් හා වර්ණ මුද්‍රණය වී තිබීම සඳහා අත්‍යවශ්‍ය මෙන්ම ඉතා වැදගත් කරුණකි.  එමෙන්ම ඕෆ්සෙට් මුද්‍රණ පොත්, සාපේක්ෂව ඉතා ඉක්මණින් කිලිටිවීමේ වැඩි අවදානමක් ද පවතියි. මේ හේතුවෙන් වාර්ෂිකව අවශ්‍යතාවට සරිලන ලෙස නව පෙළපොත් මුද්‍රණය කිරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට සිදුවෙයි.

    මෙම තත්ත්වය සලකා බලා, කැබිනට් මණ්ඩල අනුමැතියත්, තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශත්, ටෙන්ඩර් මණ්ඩල අනුමැතියත් අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස 2017 වසර වෙනුවෙන් 7 වසර භූගෝල විද්‍යාව පෙළපොත් (සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි මාධ්‍ය) පිටපත් ලක්ෂ 5ක් මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබේ. මෙහිදී කිසිදු ටෙන්ඩර් පටිපාටියක් උල්ලංඝණය වී නොමැති අතර, දරුවන්ට වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් පොතක් ලබාදීම සඳහා පමණක් මෙහි දී කටයුතු කර තිබේ.  

     

    මෙය නියමු ව්‍යාපෘතියක් පමණක් වන අතර මෙහිදී මුද්‍රණකරුවන්ට ඉල්ලුම් කිරීමට සමාන ඉඩප්‍රස්ථා හිමිවිය. එලෙස ලංසු කැඳවීමෙන් පසු ලංසු විවෘත කරන කාලසීමාව තුළ කිසිදු මුද්‍රණ ආයතනයක් ඔවුන්ට මුද්‍රණ කඩදාසි ආනයනය සඳහා කාලය අවශ්‍ය වන බවත් ඒ සඳහා කාලය ලබාදෙන ලෙසත් ඉල්ලමින් කිසිදු ලිඛිත දැනුම් දීමක් සිදුකර නොමැත.

     

    මේ සඳහා වැයකෙරෙන මුදල් පිළිබඳ ඇතැම් පාර්ශවයන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශයන් ද නිවැරදි නොවේ. සාමාන්‍ය කඩදාසියේ පෙළපොත් මුද්‍රණයට වඩා කෘතිම කඩදාසියේ මුද්‍රණ වියදම් ඉහළ මට්ටමක පවතින බව සත්‍යයකි. එහෙත් මෙම කෘතිම පෙළ පොත් නිෂ්පාදනය කරනු ලබන්නේ වසර පහකට එක් වරක් පමණක් වන හෙයින් වසරින් වසර පෙළ පොත් බෙදාහැරීම වෙනුවෙන් වැය වන පිරිවැය, වසරින් වසර සාමාන්‍ය කඩදාසියේ පෙළ‍පොත් මුද්‍රණය සඳහා  වැයවන මුදල ආදිය සමග සසඳා බලන විට මෙය කිසිසේත් අවාසිදායක හෝ පාඩු සහිත කටයුත්තක් නොවේ. පෙළපොත් නිෂ්පාදනය සඳහා දළ වශයෙන් වාර්ෂික නිෂ්පාදන වියදම වැඩිවීම 12%ක් පමණකි. වසර පහක් යනතුරු මෙම පෙළ පොත් නැවත මුද්‍රණය කිරීමට සිදු නොවීම හේතුවෙන් මෙහිදී අදාළ වසර පහ තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වැඩිවීම මත අවශ්‍ය වන පෙළපොත් ප්‍රමාණය ද ගණනය කර බලා එම ප්‍රමාණය ද මෙම වසර තුළ ම නිෂ්පාදනය කිරීමට අදාළව මිළ ගණන් දක්වා ඇති නිසා කරුණු නිසියාකාරව පරීක්ෂා නොකර මේ තුළ විශාල මුදල් නාස්තියක් සිදුවන බව පැවසීම අතාර්කික ය.

     

    එමෙන් ම මෙම පෙළපොත් නිෂ්පාදනය හේතුවෙන් පරිසරයට හානි සිදුවිය හැකි බවට ද ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරන චෝදනා නිවැරදි නොවේ. මෙම නියාමන ව්‍යාපෘතිය යටතේ ම මීට අදාළ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් නිෂ්පාදකයින් විසින් සිදුකිරීමට එකඟ වී සිටියි. භාවිතය අවසානයේ දී අබලි පෙළපොත් එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණයට නිෂ්පාදකයින් එකඟව සිටින අතර මෙම පෙළ පොත් සඳහා යොදාගෙන ඇත්තේ ද ප්‍රතිචක්‍රීකරණයට ලක් කළ හැකි ආකාරයේ කඩදාසි වර්ගයකි. එමෙන් ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දරුවන්ගේ සෞඛ්‍යයට හිතකර තීන්ත හා කඩදාසි මෙම පොත් නිෂ්පාදනයේ දී යොදාගෙන ඇති බව ද තහවුරු වී ඇත.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    එමෙන් ම වාර්ෂිකව පාසල් දරුවන් වෙනුවෙන් පෙළ පොත් මිලියන 44ක් මුද්‍රණය වන අතර මෙම නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් මුද්‍රණය කර ඇත්තේ පෙළපොත් පිටපත් ලක්ෂ පහක් පමණකි. දරුවන්ගේ පෙළපොත් බෑගයෙහි බර වැඩිබවට ද මෙම පොත් කදිම විසඳුමක් බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya