අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය මව්බිමේ සම්පත් විකුණනවා යැයි මහින්ද රාජපක්ෂ මහතා කීම ද්වේශ සහගතයි - මුදල් ඇමැති

    දෙසැම්බර් 09, 2016

    පසුගිය රජය මගින් විශාල වශයෙන් විදේශ ණය ලබාගෙන අලුතෙන්ඉදි කරන ලද හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ වැනි මහා පරිමාණ ආයතන රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර තුළින් ලාබ ලබන ආයතන සේ පත් කිරීම සඳහා මෙම රජය කටයුතු කර තිබියදී මේ හරහා මව්බිමේ සම්පත් විදේශිකයන්ට අලෙවි කිරීමක් සිදු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම රජය තරයේ ප්‍රතික්ෂේප කරයි.

    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන බව හා අනෙකුත් සම්පත් විදේශ රට වලට විකිණීමට මෙම රජය උත්සාහ දරන බවට හිටපු ජනාධිපති විෂම චක්‍රයක් ක්‍රියාත්මක කිරීම දෙවරක් ම මේ රට පාලනය කළ නායකයෙකුට තරම් වටින්නේ නැති බව ප්‍රකාශ කළ යුතුයි.

     

    ආර්ථිකයට උහුලන්නට බැරි තරම් ණය බරක් ඇති කරමින් ආයෝජනයට සරිලන කිසිදු ප්‍රතිලාභයක් ලබා නො දෙන මෙවන් ආයතන වෙනුවෙන් හිටපු රජය විසින් විශාල වශයෙන් විදේශ ණය ලබා ගන්නා ලදි. රටේ ආර්ථික සංවර්ධනයට එමගින් කිසිදු රුකුලක් නොවූ බව පසුගිය වසර කිහිපයක් මුළුල්ලේ රාජ්‍ය ආදායම අඛණ්ඩව පහළ බැසීමෙන් එය ඔප්පු වේ. හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල වැනි ආයතන පිහිටුවීමට පෙර අදාළ විදේශිකයන් විසින් විශේෂ ඉල්ලීම් නොමැති යෝජනා (Unsolicited Proposal) ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒ සඳහා වැයවනු ඇතයි ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුවට වඩා දෙගුණයක් මෙහි ඉදිකිරීම් සඳහා වැය කර තිබේ.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෑත දී චීනයේ සංචාරය කළ අවස්ථාවේ දී මෙම ණය, ආයෝජන බවට පරිවර්තනය කර ගැනීම සඳහා චීන රජයේ එකඟතාව ලබා ගන්නා ලදී.

     

    ඒ අනුව වානිජ වරායක් ලෙස අසාර්ථක වූ හම්බන්තොට වරාය කාර්මික වරායක් ලෙස ද සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට චීනය විසින් ඩොලර් බිලියන එකකට වැඩි මුදලක් ප්‍රාග්ධනය වශයෙන් යෙදවීමට නියමිතයි. මේ මගින් හම්බන්තොට වරාය සඳහා රජය ගෙවිය යුතු ණය මුදලින් ඩොලර් බිලියනයක පමණ මුදලක් නිදහස් කිරීමට රජයට හැකි වනු ඇත. මේ ආකාරයට මත්තල ගුවන් තොටුපල, ශ්‍රී ලංකන් ගුවන් සේවා ආයතනය හා හම්බන්තොට ආයෝජන කලාප ඇතුළු ව්‍යාපෘති ගණනාවක් රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර(PPP)ලෙස ආරම්භ කිරීමට නියමිත අතර එමගින් රාජ්‍ය දේපළ කිසිවක් පෞද්ගලීකරණයකිරීමට හෝ විදේශයන් ට විකුණා දැමීමක් හෝ කිසිදිනක සිදු වන්නේ නැත.


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කරමින් මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට සහභාගි වන ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් ද මෙම රජය විසින් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයකිරීමට සැලසුමක් තිබෙන බවටත් රාජ්‍ය සම්පත් විදේශිකයන් ට විකිණීමට යන බවටත් මහජනතාව නොමග යවන සුළු ද්වේශ සහගත ප්‍රකාශ සිදු කරමින් සිටී. තවද  ඇතැම් වෘත්තීය සමිති ද මෙවැනි ප්‍රකාශ කිරීම තුළින් ඔවුන් දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන බව පැහැදිලි වේ.


    2016 නොවැම්බර් 10 ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු ද පෞද්ගලීකරණය කිරීමට පිඹුරු පත් සකසා ඇතැයි යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා විසින් ව්‍යාජ කරුණු ඉදිරිපත් කර ඇත. ආයෝජකයන් ට මුල් තැන දෙන නිෂ්පාදන ආර්ථිකයක් කරා යොමු වන අයවැයක් ලෙස ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රයන් ට අදාළ ප්‍රවීනයන් විසින් මෙවර අයවැය පිළිබඳ සාධනීය කරුණු ඉදිරිපත් කර ඇති අවස්ථාවක මෙවන් විෂම චක්‍රයක් ක්‍රියාත්මක කරමින් ආර්ථික දියුණුව කඩා කප්පල් කර ජනතාව නොමග යැවීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ක්‍රියාත්මක කිරීම රජය තරයේ ප්‍රතික්ෂේප කරයි.

    ඇත්ත වශයෙන්ම මෙරටේ රාජ්‍ය  සම්පත් විදේශ රටවලට අලෙවි කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයේ සිටි සමයේ බව ඔහුට අමතක වීම ඛේදජනකයි.

     

    ගාලු මුවදොර හමුදා මූලස්ථානය පිහිටි ඉඩම් හා හම්බන්තොට ද හෝටල් සංකීර්ණ ඉදි කිරීම සඳහා විදේශ සමාගමකට රජයේ ඉඩම් මහින්ද රාජපක්ෂ රජය විසින් නොමිලේ ලබා දී ඇත. එකල රාජ්‍ය ඉඩම් විදේශ සමාගම් විසින් මිල දී ගන්නා අවස්ථාවේ 100% ක බදු මුදලක් පනවා තිබිණි.  එහෙත් මෙම අදාළහෝටල් සංකීර්ණ දෙක සඳහා මෙම බදු අය කිරීමකින් තොරව මව්බිමේ ඉඩම් සම්පත ඔවුන්ට නොමිලේ ලබා දීමට මුල් වුයේ එකල සංචාරක විෂය භාර අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ මහතා ගේ රජයයි.

     

    මෙයට අමතරව කොළඹ වරාය නගරය ඉදි කිරීමේ දී ද එහි කොටසක් චීන රජයට පසුගිය රජය විසින් සින්නක්කරව ලබා දීතිබුණා පමණක් නොව එම වරාය නගර සීමාව ශ්‍රී ලංකා අධිකරණ බල ප්‍රදේශයෙන් ද ඉවත් කර තිබුණි.

     

    එහෙත් මෙම රජය බලයට පත් වු වහාම මේ පිළිබඳව චීන රජය සමඟ සාකච්ඡා කොට මහින්ද රාජපක්ෂ රජය විසින් චීනයට සින්නක්කරව ලබා දී තිබූ මෙම ඉඩම ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිය හා භුක්තිය සඳහා පෙරලා ලබා ගැනීමට හැකි වූයේ රාජ්‍ය සම්පත් කිසිවිටක විදේශිකයන් ට අලෙවි නො කිරීමෙ යහපාලන රජයේ ප්‍රතිපත්තිය හේතු කොට ගෙනය.

     

    මහින්ද රාජපක්ෂ මහතා දෙවරක්ම රට පාලනය කරමින් මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරටේ ජනතාවට අත් වූයේ කිසිදු සංවර්ධන ප්‍රතිලාභයක් නොමැති ආර්ථික වර්ධනයක් පමණි. එකල විශාල ණය කන්දරාවක් ලබා ගෙන ප්‍රමුඛතාවයකින් තොරව ඉදි කරන ලද මෙම ආර්ථික යටිතල පහසුකම් හා ඒවායින් සිදු වූ දූෂණ හා අක්‍රමිකතා වෙනුවෙන් වැය කළ මුදල් සියල්ල දළ දේශීය නිෂ්පාදිතයට එකතු වීම හරහා ආර්ථික වර්ධනයේ වේගයක් සිදු වූවා විනා එමගින් රටට හෝ ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් අත් වූයේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ සමස්ත ණය සේවා කරන ගෙවීම් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වු අතර ජාතික ආදායම ද වසරින් වසර අඩු වීමේ හේතුවෙන් එම කාල සීමාවේ වාර්ෂික රාජ්‍ය ආදායම රටේ ණය සේවා ගෙවීම් සඳහා හෝ පුනරාවර්තන වියදම් ආවරණය කිරීමට හෝ ප්‍රමාණවත් නොවිය. මෙවන් සන්දර්භය යටතේ තම පාලන සමයේ රට සංවර්ධනය වුවා යැයි මහින්ද රාජපක්ෂ මහතා උදම් ඇනීම හාස්‍ය ජනකයි. මේ රටේ ආර්ථික ඝාතකයන් සිටින බවට මහින්ද රාජපක්ෂ මහතාගේ අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ මේ නිසා විය හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya