මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිපේ ගොවීන් අතුරු බෝග වගාවට යොමු කිරීමේ සැලසුමක්

    නොවැම්බර් 24, 2016
    මෙවර නියමිත පරිදි වැසි නොලැබීම නිසා මිනිපේ ව්‍යාපාරයේ ගොවි ජනතාව එළඹෙන මහ අතුරු බෝග වගාව කෙරෙහි යොමු කිරීම වඩාත් සුදුසු බව මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තීරණය කරන ලදී. කමිටුව විසින් මෙම තීරණයට එළඹියේ මිනිපේ ව්‍යාපාරයේ ගොවි සංවිධාන නියෝජිතයන්, නේවාසික කළමනාකරුවන් සහ වාරිමාර්ග ඉංජිනේරු විසින් ඉදිරිපත් කළ කරුණු විමසා බැලීමෙන් අනතුරුවය.
    මීට පෙර රැස්වූ මිනිපේ ව්‍යාපාරයේ පෙර කන්න රැස්වීමේදී ගොවි සංවිධාන ඇතුළු සියළුම ගොවිජනතාවගේ තීරණය එළඹෙන මහ කන්නයේදී සියයට සියයක්ම වී වගා කිරීමටයි.  නමුත් මේ වන විටත් බලාපොරොත්තු වූ තරම් වර්ෂාවක් නොලැබීම නිසා වී වගාව සදහා බලාපොරොත්තු වූ පරිදි ජලය ලබාදීමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තීරණය වී තිබේ. එබැවින් කොටස්  හතරකින් යුත් මිනිපේ ව්‍යාපාරයේ 4 සහ 5 පියවරවල වී වගා කරන ගොවිජනතාවට ප්‍රමාණවත් තරම් ජලය ලබාදීමට නොහැකිවන බවද වාරිමාර්ග අධ්‍යක්ෂ     කේ.එම්.ඒ.පී. කාරුණානායක මහතා කමිටුව වෙත දැනුම් දෙන ලදී.  මිනිපේ ගොවි සංවිධාන නියෝජනය කරමින් පැමිණී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඒ.පී.වී.ඒ. සුනිල් ගමගේ  මහතාගේ අදහස වූයේද ප්‍රමාණවත් පරිදි ජලය නොලැබුනොත් සියළු ගොවියන් වී වගා කිරීමෙන් ගැටළු රැසක් ඇති විය හැකි බවයි.
     
    කමිටුව වෙත ඉදිරිපත්වූ කරුණු විමසා බැලූ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පැවසුවේ ජලය ලබාදීමේ අපහසුතාවය නිසා 4 සහ 5 පියවර ගොවිජනතාව වී වගාව සීමා කොට අතරුබෝග වගා කිරීම සදහා පෙළඹවිය යුතු බවත්, ඒ සදහා බඩ ඉරිගු බෝගය වඩාත් සුදුසු බවත්ය. එවැනි පූර්ව සැළසුම් සහ උපායන් යෙදීමෙන් පමණක් මෙම අභියෝග ජයගත හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. එමෙන්ම  වගා රක්ෂණය නොකළ සියළුම ගොවියන් රක්ෂණය සදහා යොමු කරවන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයන්ට සහ නේවාසික කළමනාකරුවන් වෙත උපදෙස් දුන් දිස්ත්‍රික් ලේකම්වරයා ගොවි සංවිධාන ඉල්ලා සිටින සහනාධාර පිළිබද යෝජනාවද රජයට යොමු කරවන බවද දැනුම් දෙන ලදී. 
     
    මෙවර පැවති වියලි කාලගුණික තත්වය නිසා මුරපොළ ඇල ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන්ගෙන් කොටසක්ද වැල් දොඩම් වගාව සදහා යොමු වී ඇති බව පෙන්වා දුන් මිනිපේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඒ.පී. විජේනාරායන මහතා, ඒ සදහා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මුල් වී ගොවිජනතාවට පුහුණුවක්ද ලබාදුන් බව පැවසීය. වැල් දොඩම් වගාවෙන් සැලකිය යුතු ලාභයක් ලබාගත හැකි බැවින් ගොවීන්ද ඒ සදහා වැඩි උනන්දුවක් දක්වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
     
    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම කමිටු රැස්වීම සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී රණේපුර, කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.ආර්.ජී.බී. එරබදුපිටිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya