අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍යය අයිතීන් සහ ප්‍රමිතීන් ගැන මහජන උපදේශනයකට ඇරයුමක්

    නොවැම්බර් 23, 2016

     

    ජනමාධ්‍ය ප්‍රමිතීන් සහ අයිතීන් සම්බන්ධයෙන් මහජන කතිකාවතක් ආරම්භ කිරීම වෙනුවෙන්  මහජනතාවගේ හා විද්වතුන්ගේ අදහස් සහ යෝජනා විධිමත් පරිදි ලබා ගැනීම සඳහා ජනාමාධ්‍ය අමාත්‍ය ගයනත්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

     

    එහි සම්පූර්ණ විස්තරය පහත සඳහන් වේ.

     

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීම සහ පවත්වාගෙන යාම පිණිස, දැනුවත් ප්‍රජාතාන්ත්‍රික කතිකාවකට වේදිකාවක් වෙමින් පුලුල් පරාසයක තොරතුරු සහ අදහස් පුරවැසියන්ට සැපයීමට කැප වූ, උසස් සදාචාරාත්මක ප්‍රමිති සහ වෘත්තීය නිපුණතාවයකින් යුතු,  නිදහස්, ස්වාධීන සහ බහුවිධ ජනමාධ්‍ය අත්‍යවශ්‍යය. විශ්වාසදායක ප්‍රවෘත්ති ප්‍රභවයක් ලෙස සලකමින් ජනමාධ්‍ය පරිහරණය කරන්නන්ට වග වෙන, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෘත්තීය පරිචයෙන් සහ  ප්‍රමිතියෙන් යුතු ජනමාධ්‍ය ක්ෂේත්‍රයක පැවැත්මට අවශ්‍ය කරන වාතාවරණය බිහි කිරීම පිණිස රජය කැපවී සිටී.


    මෙවර ජනමාධ්‍ය නිදහස පිලිබද ජාත්‍යන්තර දිනයේදී ( මැයි 03 වැනි දින)  ජනමාධය ප්‍රතිසංස්කරණ උදෙසා වූ බහුපාර්ශවීය කණ්ඩායම විසින් අගමැති තුමා වෙත පිළිගන්වන ලද Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka, නමැති වාර්තාවේ  අඩංගු වූ නිසි මාධ්‍ය සංවර්ධනයකට අවශ්‍ය සමස්ත වාතාවරණය පිළිබඳ කළ විස්තීර්ණ ඇගයුම රජයේ ඉමහත් සැලකිල්ලට ලක් විය. පෘථුල පිළිගැනීමක් ඇති යුනෙස්කෝ මාධ්‍ය සංවර්ධන සංරචක පදනම් කොට බහුවිධ පරදු දරන්නන්ගේ උපදේශන ක්‍රියාවලියක් මගින් බිහිකරන ලද එකී වාර්තාවේ  වැදගත් සහේතුක නිර්දේශ සමූහයක් ම වෙයි.


    එමෙන්ම පසුගියදා පැවැත්වූ ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ පනත සහ මාධ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ අන්තර් ජාතික සම්මන්ත්‍රණයේදී වත්මන් මාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝග පිළිබඳව ද කථිකා වූ අතර, ඒ පිළිබඳ වැදගත් නිර්දේශ කිහිපයක් ද ඉදිරිපත් කෙරිණි.


    එහි එන ඇතැම් මූලික නිර්දේශවලට අනුව යහපත් ජනමාධ්‍ය වාතාවරණයක් ඇති කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය ගැන ද සඳහන් වෙයි.  ඒ අනුව ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය නීතිමය රැකවරණය හා ජනමාධ්‍ය ස්වයං නියාමන විධික්‍රම කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය සඳහා ඒ ගැන උනන්දුවක් දක්වන පරදුදරන්නන් සමග උපදේශන කතිකාවක් ඇති කිරීමට රජය අදහස් කරයි.  


    ප්‍රවෘත්ති හා තොරතුරු රැස්කිරීමට ජනමාධය්‍යට ඇති අයිතිය ද ඇතුලුව ජනමාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම සදහා නීතිමය රැකවරණය සැලැසීමටද, 1979 අංක 5 දරණ පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීමට ද, ජනමාධ්‍යය වෘත්තීයේ ප්‍රමිති පවත්වාගැනීමට අවශ්‍ය නිසි බලතල සහිත ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් හඳුන්වාදීම පිණිස අවශ්‍ය කරන කටයුතු ඉටු කිරීමට ද රජය සූදානම්ය.


    ඒ අනුව පහත සදහන් කරුණු ඉටුකිරීමට අවශ්‍ය නීතිමය විධිවිධාන සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන මෙන් මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පරදු දරන්නන්ට රජය ආරාධනා කරයි.


    1.    ප්‍රවෘත්ති සහ තොරතුරු රැස්කිරීම හා බෙදා හැරීමට, මහජන යහපත සම්බන්ධ කරැණුවලදී විචාරාත්මක වාර්තාකරණයක නියැලීමට,  මහජන මතය ගොඩනැගීමේ ක්‍රියාවලියට දායක වීමට ජනමාධ්‍යයට ඇති අයිතිය ද ඇතුලත්ව ජනමාධ්‍ය නිදහස පිළිගැනීම;
    2.    ජනමාධ්‍ය ආයතනයක් වෙනුවෙන් ප්‍රවෘත්ති හා තොරතුරු රස්කරන ජනමාධ්‍යෙව්දීන්ට හිතාමතා බාධා කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වශයෙන් නීතිගත කිරීම;
    3.    ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සලසන විධික්‍රමයක් ඇති කිරීම;
    4.    තොරතුරු ලබා ගැනීමේ රහස්‍ය ප්‍රභවයන් අනාවරණය නොකිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති අයිතිය සුරක්ෂිත කිරීම;
    5.    තොරතුරු වල රහසිගතභාවය පවත්වා ගැනීම මහජන යහපත පිණිස වඩා වැදගත් වන අවස්ථාවකදී හැර, ජනමාධ්‍ය ආයතනයක නියැලි ජනමාධ්‍යවේදීන්ට මහජන කටයුතු හෝ මහජන යහපතට අදාළ තොරතුරු අනාවරණය කිරීම නිසා කිසිවෙකු නීතිමය හෝ රැකියාව සම්බන්ධ දඩුවමකට ලක් කිරීම හෝ අඩුසැලකිලි දැක්වීම දඩුවම් ලැබිය හැකි වරදක් වශයෙන් නීතිගත කිරීම;
    6.    පිළිගත් වෘත්තීය ආචාරධර්ම සංග්‍රහය (recognised professional codes of practice) කඩ කිරීම ප්‍රතික්ෂේප කරන ජනමාධ්‍යවේදියෙකුට හෝ සංස්කාරක වරයෙකුට දඩුවම් කිරීම හෝ සේවය අවසන් කිරීම හෝ නීති විරෝධී ක්‍රියවක් වශයෙන් සැලැකීම;
    7.    මාධ්‍ය ආයතනවලට අදාල ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූල වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහයක් පිළිගෙන එය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට අවශ්‍ය බලතල සහිත  ස්වාධීන මණ්ඩලයක් ස්ථාපිත කිරීම.

    මෙකී යෝජිත ස්වාධීන මණ්ඩලය ජනමාධ්‍යයේ ස්වයං නියාමන විධික්‍රමය අධීක්ෂණය කරන අතර, හිතාමතා වෘත්තීය ආචාරධර්ම සංග්‍රහය කඩකරන අවස්ථාවල දී ඒ සම්බන්ධ තහංචි පැනවීමට ද එයට බලය හිමි වෙයි. තොරතුරු අයිතිය පිළිබඳ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අනුගමනය කළ විධි ක්‍රමය මෙකී මණ්ඩලයේ ස්වාධීනතාවය තහවුරු කිරීම පිණිස ද අනුගමනය කළ හැකිය. මණ්ඩලයේ සංයුතියෙන් තුනෙන් දෙකක් ජනමාධ්‍ය ප්‍රකාශකයන් හා ජනමාධ්කරුවන්ගේ සංවිධාන මගින් යෝජනා කරන විශිෂ්ට පුද්ගලයන්ගෙන් ද ඉතිරිය සිවිල් සමාජ සංවිධාන මගින් යෝජනා කරන විශිෂ්ට පුද්ගලයන්ගෙන් ද සමන් විත විය හැකිය.

     

    යෝජිත මණ්ඩලය කෙරෙහි මහජන විශ්වාසය ඇති කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විමසා අධිකරණ සේවා කොමිසම විසින් නම් කරනු ලබන අධිකරණ විනිසුරුවරයෙකු එහි සභාපති වශයෙන් සේවය කිරීමට පත් කළ හැකිය. ව්‍යවස්ථා සභාවේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු ඡන්දයක් මගින් පමණක් ඉවත් කළ හැකි අන්දමට විධිවිධාන යෙදීමෙන් මේ මණ්ඩලයේ සාමාජියන්ගේ නිල කාලය සුරක්ෂිත කළ හැකිය.

     

    පහත දැක්වෙන කාර්ය සහ බලතල යෝජිත මණ්ඩලයට අදාල වෙයි.

    1.    ජනමාධ්‍යවේදීන්ගේ හා සංස්කාරකවරුන්ගේ සංවිධාන හා සමිති ද, සිවිල් සමාජය ද ඇතුලත්වන කතිකාවකට අනුව උචිත වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහයක් පිළිගැනීම;
    2.    පිළිගත් වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය ජනමාධ්‍ය විසින් නිසිලෙස පිළිපදිනු ලබන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම;
    3.    පිළිගත් වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය කඩකිරීම සම්බන්ධයෙන් මණ්ඩලයේ නිරීක්ෂණ හා ලැබෙන පැමිණිලි වලට අනුව විභාග කොට තීරණය කිරීම;
    4.    ජනමාධ්‍ය විසින් වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය පිළිපදිනු ලබන අන්දම  සම්බන්ධයෙන් මහජන මතය විමසීම පිණිස කලින් කල විවෘත මහජන උපදේශන පැවැත්වීම;
    5.    ලියාපදිංචි මාධ්‍ය ආයතන සම්බන්ධ දත්ත ගබඩාවක් පවත්වා ගැනීම;
    6.    වෘත්තීය අචාර ධර්ම සංග්‍රහය ඵලදාසී ලෙස භාවිතා කිරීමට අවශ්‍යවන අධ්‍යාපනික කටයුතු සහ පුහුණු කිරීම්වල යෙදීම සහ එවැනි පුහුණු කිරීම් වලට සහාය දැක්වීම සහ ඒ සඳහා අවශ්‍ය පුහුණු ද්‍රව්‍ය පිළියෙල කිරීමට සහාය දැක්වීම.
    7.    මණ්ඩලයේ තීරණවලට එරෙහිව අධිකරණයට අභියාචනා කිරීමට ඇති අයිතිය ද සහිතව, තොරතුරු අයිතිය පිළිබඳ කොමිසමට අයත් බලතලවලට සමාන බලතල යොදා ගනිමින්, මණ්ඩලයට ලැබෙන පැමිණිලි විභාග කිරීම.
    8.    එම විභාගවලට අනුව වැරදි කරුවන් වන මාධ්‍ය ආයතනවලට අවවාද කිරීම හෝ මණ්ඩලයේ තීරණය මණ්ඩලය විසින් අනුදත් ආකාරයකට පළ කිරීමට හෝ ප්‍රචාරය කිරීමට හෝ අදාළ ජනමාධ්‍ය ආයතන වලට නියම කිරීම.
    9.    වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය පිළිපැදීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සේව්‍යයන් සහ සේවකයන් අතර ඇතිවිය හැකි ගැටුම්  සමථයකට පත් කිරීම.


    මේ සඳහා යොජනා කිරීමට අදහස් කරන නීතිය සියලු මුද්‍රිත හා විද්‍යුත් ප්‍රවෘත්ති මාධ්‍ය වලටත් මණ්ඩලය විසින් අනුදත් වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය පිළිපැදීමට විධිමත් ලෙස එකඟ වන ප්‍රවෘත්ති වෙබ් අඩවි වලටත් අදාල වේ.


    යෝජිත ස්වාධීන මණ්ඩලයේ තීරණ අනුව කටයුතු කිරීම හෝ තීරණය බලාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම ලුහුඬු අධිකරණ විනිශ්චයකින් නියම කරන දඩයකට යටත් විය හැකි වරදක් වේ.  එමෙන්ම නීත්‍යානුකූලව ප්‍රවෘත්ති සහ තොරතුරු රැස්කරන ජනමාධ්‍යවේදියෙකු ට බාධා පැමිණවීම, තොරතුරු පිළිබඳ රහස්‍ය ප්‍රභවයක් එළිදරව් කිරීමට ජන මාධ්‍යවේදියෙකුට අනිසි බලපෑම් කිරීම මහ වෘත්තීය අචාර ධර්ම කඩ කිරීම ප්‍රතික්ෂේප කරන ජනමාධ්‍යවේදියෙකුට එරෙහිව ක්‍රියා කිරීම මෙම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදකි.


    මෙකී යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් සිය මතය දක්වන ලෙස ජනමාධ්‍ය හිමිකරුවන්ගේ හා ජනමාධ්‍ය ප්‍රකාශකයන්ගේ සංවිධානවලට ද, ජනමාධ්‍යවේදීන්ගේ සමිති හා සංවිධානවලට ද, සිවිල් සමාජ සංවිධානවලට ද, මහජනතාවට ද රජය ආරාධනා කරයි.  
    කරුණාකර ඔබේ අදහස් ලිඛිතව දෙසැම්බර් 31 වැනි දිනට පෙර පහත දැක්වෙන තැපැල් ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට දන්වන්න.

     

    අධ්‍යක්ෂ ජනරාල්
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
    (අමාත්‍යංශ ලේකම් වෙනුවට)
    අංක 163,
    කිරුලපන මාවත , කොළඹ 05
    Email This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
    Fax: 0112514753
    2016 නොවැමිබර් 23  
    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya