අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට චීන රජයේ සහාය

    ඔක්තෝබර් 31, 2016

    මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙලට චීන රජයේ සහයෝගය ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    අධ්‍යයන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මහජන චීන සමූහාණ්ඩුවේ Beijing Normal විශ්වවිද්‍යාලයේ smart ඉගෙනුම් ආයතනයේ මහාචාර්යවරුන් සහ ග්‍රාමීය අධ්‍යාපනය පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයේ (INRULED)නියෝජිත පිරිසක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි අතර එහිදී අධ්‍යාපන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකට ද සහභාගි වූහ.

    යුගයේ අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් e- ඉගෙනුම්  හා සුහුරු (smart) පන්ති කාමර නිර්මාණය කරමින් මෙරට ශිෂ්‍ය ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව ද එම නියෝජිත පිරිස සඳහන් කළහ.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනය සහ ගුරු සංවර්ධනයට අදාළ ව සිය අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම අධ්‍යයන චාරිකාවේ ප්‍රධාන අරමුණක් වන අතර 2016 ඔක්තෝබර් 26 දින සිට ජාතික අධ්‍යාපන ආයතනයේ සහ ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් යුතුව නිරීක්ෂණ වැඩසටහන් කිහිපයකට ම මෙම දූත පිරිස එක්වූහ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

     චීන නියෝජිත පිරිස ද එරට විශ්වවිද්‍යාල හා e-ඉගෙනුම් සම්පත් සංවර්ධනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය ආදිය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

    මේ අවස්ථාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජිත් චන්ද්‍රෙස්කර, යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් ධම්මිකා විජයසිංහ යන මහත්ම මහත්මීන් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya