අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 අයවැයට ජනතා යෝජනා 2200 ලැබුණා - මුදල් ඇමැති

    ඔක්තෝබර් 30, 2016

    සීතල කාමරවල සිට අයවැය සකස් කළ යුගය අවසන් කර ඇති බවත්, ජනතාවගේ දෙපා මුලට ගොස් අදහස් ලබාගෙන රට හදන අයවැයක් නොවැම්බර් 10 වැනිදා ජනගත කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ගැටලු රැසකට පිළිතුරු ලැබෙන යෝජනා රැසක් මේ වන විටත් ජාතික මට්ටමෙන් හඳුනාගෙන ඇති බවයි.

    අයවැය සඳහා විවිධ ආයතන, සංවිධාන, වෘත්තීය සමිති හා පෞද්ගලික මට්ටමෙන් යෝජනා 2200කට අධික ප්‍රමාණයක් මේ වන විට තමාට ලැබී ඇති බවත්, එම යෝජනා රටේ ඉදිරි ගමනට දායක කර ගැනීම සඳහා අයවැය සකස් කිරීමේ දී සැලකිල්ලට ගෙන ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    2017 අයවැය යෝජනාවලිය සඳහා අදහස් ලබා ගැනීම වෙනුවෙන් ගාල්ල, අක්මීමන ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ ඊයේ (29) පැවති  විශේෂ හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ප්‍රදේශයේ ගොවි, කෘෂිකාර්මික, සංචාරක, ධීවර ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. එහි දී එම ජනතාවට මුදල් අමාත්‍යවරයා වෙත සෘජුව සිය ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදා විය. ණය අනුපාත පහත හෙලීම, සංචාරක ව්‍යාපාරය, පොහොර සහනාධාරය, වී වගාව, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර රැසක ගැටලු අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි.

    රවී කරුණානායක මහතා කියා සිටියේ මීට පෙර පැවති මෙවැනි අදහස් ලබා ගැනීමේ හමුවල දී ජනතාව ලබා දුන් අදහස් අනුව යමින් මේ වන විට අදාළ ගැටලුවලට පිළිතුරු අයවැය ලේඛනයට දැනටමත් ඇතුළත් කර ඇති බවයි.

    ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය ජනතාවගේ ගැටලු හඳුනාගැනීම සඳහා දිවයින පුරා වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා දීර්ඝ කාලීන් සංවර්ධන වැඩපිළිවෙළකට ප්‍ර‍වේශ වීම රජයේ අරමුණ බව ද සඳහන් කළේය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු, ප්‍රාදේශීය දේශපාලනඥයෝ පිරිසක් එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya