අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැව් සංස්ථාවට අලුත් නැවක්

    ඔක්තෝබර් 06, 2016
    ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් සිලෝන් ප්‍රින්සස් නෞකාව අද මව්රටට සේන්දු විය. ශ්‍රී ලංකා ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාව ශ්‍රී ලංකා නැව් සංස්ථාවට අයත් දෙවැනි නෞකාවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට මංගල ගමනින් අද උදෑසන සේන්දු වූ එම නෞකාව පිළිගනු ලැබුවේ  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසිනි.
    සිලෝන් ප්‍රින්සස් (Ceylon Princess) නෞකාව චීනයේ AVIC International සමාගමේ නිර්මාණයකි. 2016 ජූනි මස 15වැනිදා සාදා නිම කළ මේ නෞකාවේ දිග මීටර් 200 ක් වේ. එහි සහෝදර නෞකාව වූ සිලෝන් බ්‍රීස් නෞකාව මීට ප්‍රථමයෙන් ස්වකීය මෙහෙයුම් ආරම්භ කළේ 2016 මාර්තු මස 15 වැනිදායි. පසුගිය රජය සමයේදී මිලදී ගත් මෙම නෞකා දෙක සඳහා වැය කර තිබූ සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑවක් විය. අද පැවැති පිළිගැනීමේ උත්සවයේදී  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ එම මුදලින් නෞකා හතරක් මිලදී ගැනීමට තිබුණු බවයි. මෙම නෞකා වලින් ශ්‍රී ලංකා නැව් සංස්ථාවට පැටවුණු ණය බර ප්‍රමාණය අති විශාල බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසීය. කෙසේ නමුත් එතුමා අවධාරණය කළේ ණය ප්‍රමාණය කළමනාකරණය කරගනිමින් නෞකා ආරක්ෂා කර ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි.
     
    “වරාය අමාත්‍යාංශය මම භාරගන්නකොට අපිට තිබුණ ලොකුම අභියෝගයක් වුණේ මේ නෞකා දෙක භාර ගැනීම. නමුත් මේ නෞකාවලින් රටට ආලෝකය සපයන ගල් අඟුරු ප්‍රවාහනය කරමින් පසුගිය වසරේදී අපි සැලකිය යුතු මට්ටමේ ලාභයක් ලබා ගත්තා. ප්‍රමාදවීම් සඳහා ගෙවීම් කිරීම් අඩුවුණා. ඒ නිසා මේ නෞකාවලින් නැව් සංස්ථාවට විය හැකි පාඩුව අවම කර ගත හැකි යැයි මම අපේක්ෂා කරනවා. ඉදිරියටත් නැව් සංස්ථාවට අලාභයක් නොවන විදියට මේ නෞකා හැසිරවීමට උපාය මාර්ග පිළිබඳවද අවධානය යොමු කරමින් සිටිනවා. සමහර වෙලාවට අපිට හිතට එකඟ නැති තීරණ වුණත් ගන්න සිද්ධ වේවි. මම වඩාත්ම කැමතියි මේ නැව් සංස්ථාව දියුණු වෙලා ගමේ ඉන්න දරුවන්ට නැවකට නගින අවස්ථාවක් ලබාදෙන්න.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
     
    ශ්‍රී ලංකා නැව් සංස්ථාව, සිලෝන් බ්‍රීස් සහ සිලෝන් ප්‍රින්සස් නෞකා මිලදී ගත්තේ පුත්තලම ලක්විජය විදුලි බලාගාරයට සහ සාම්පූර් බලාගාරය සඳහා වසර මුළුල්ලේ ගල් අඟුරු ප්‍රවාහනය කිරීමේ මූලික අරමුණෙනි. කෙසේ නමුත් සාම්පූර් ව්‍යාපෘතිය නතර වීමත් සමඟ මෝසම් කාලවලදී මෙම නෞකා වෙනත් වෙළඳ කටයුතු සඳහා යෙදවීමට ශ්‍රී ලංකා නැව් සංස්ථාවට සිදුව තිබේ. එම සංස්ථාව පවසන්නේ ඊට පිළියමක් ලෙස හොංකොංහි පිහිටි වානිජ කළමනාකරණ සේවා සපයන සමාගමක් වූ Wallem Commercial Services පෞද්ගලික සමාගම සමඟ මේ වනවිට වෙළඳ ගිවිසුමක් ඇති කර ගෙන සිටින බවයි.  එම ගිවිසුම ප්‍රකාරව මෙම නෞකා දෙකම මෝසම් කාලවලදී වෙනත් වාණිජ වෙළඳ කටයුතුවලට යෙදවීමට අපේක්ෂා කරන බවද එම සංස්ථාව කියා සිටී. ඒ යටතේ සිලෝන් ප්‍රින්සස් නෞකාව කොළඹ වරායට සේන්දු වීමට පෙර දකුණු කොරියාවේ සිට පිලිපීනය වෙත වානේ තොගයක් ප්‍රවාහනය කළාය.
     
    සිලෝන් බ්‍රීස් සහ සිලෝන් ප්‍රින්සස් නෞකාවල ඕනෑම අවස්ථාවක සාගර ශිෂ්‍ය භටයින් පුහුණු කිරීමට හැකි වීමද විශේෂත්වයකි. මේ වන විට සිලෝන් බ්‍රීස් නෞකාවේ සාගර ශිෂ්‍ය භටයින් 26 දෙනෙක් මූලික පුහුණුවීම්වල නිරත වෙති. ඊට අමතරව සිලෝන් ප්‍රින්සස් නෞකාවේ පුහුණු ආධුනිකයින් ලෙස 26 දෙනකු පත්වීම් ලබා ගැනීමද අද සිදු විය. ඒ  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ සුරතිනි. 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya