යාපනය අර්ධද්වීපයේ වරාය සංවර්ධනය ගැන සොයා බැලීමේ රැස්වීමකදී මේ කරුණු අනාවරණය විය. ජැටි සංවර්ධනය කිරීමට නාවික හමුදාවේ ශ්‍රමය සහ ශිල්පීය ඥානය යොදා ගැනීම හේතුවෙන් ඒ සඳහා වැය කෙරෙන මුදලද අවම මට්ටමක පවතී.
යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් ගණන 11කි. එයින් දූපත් හතක් පමණක් ජනාවාස වී ඇත. ඒ කුරිකට්ටුවාන්, නාගදීපය, ඩෙල්ෆ්, අනලතිව්, එළුවතිව්, කයිට්ස් සහ කරෙයිනගර් නම් වේ. මෙයින් යාපනය නගරයට ඈතින්ම පිහිටි දූපත වන්නේ ඩෙල්ෆ් දූපතයි. අනෙක් දූපත් යාපනය නගරයේ සිට කිලෝමීටර් 2-3 දක්වා වූ දුරකින් පිහිටා තිබේ. කයිට්ස් සහ කරෙයිනගර් දූපත් වෙත කෘත්‍රිම මාර්ගද විවෘතව පවතී. සෙසු දූපත්වලට ප්‍රවේශ විය හැක්කේ මුහුදු මාර්ගයෙන් පමණි.
අනාදිමත් කාලයක සිට මේ දූපත් ආශ්‍රිතව මුහුදු යාත්‍රා නැංඟුරම් ලන ජැටි පැවැතියද පසුගියකාලයේදී ඒවා නිසි ලෙස නඩත්තු කර නොමැත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පීය ඥානය උපයෝගි කරගනිමින් මෙම ජැටි සංවර්ධනය කිරීම රජය ප්‍රමුඛ වරාය සහ නාවික අමාත්‍යාංශයේ අපේක්ෂාවයි. එම ව්‍යාපෘතිය යටතේ මේ වන විට එළුවතිව්, අනලතිව් දූපත්වල ජැටි සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද උතුරු නාවික ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියල් ද සිල්වා මහතා කියා සිටී. එයින් එලුවතිව් ජැටිය සංවර්ධන කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබේ.
එළුවතිව් සහ අනලතිව් ජැටි පිහිටි මුහුදු ප්‍රදේශය නොගැඹුරුය. කෙසේ නමුත් ජැටියක් ඉදිකිරීම සඳහා අවම වශයෙන් මීටර් 600ක ගැඹුරක් අවශ්‍ය වේ. මෙම තාක්ෂණික ගැටළුවට විසඳුමක් ලෙස ගැඹුරු මුහුද දක්වා විහිදෙන දිගින් වැඩි ජැටි නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි. ඒ සඳහා නාවික හමුදාව සතු ශිල්පීය ඥානය උපයෝගි කර ගැනේ. සංවර්ධනය කෙරෙන ජැටිවල එක්වර යාත්‍රා 10ක් පමණ වම්පස හා දකුණුපසින් නැංගුරම්ලෑමට හැකිවීමද විශේෂත්වයකි. බෝට්ටු සේවාව විධිමත් කිරීමේ අපේක්ෂාවෙන් යාපනය කයිට්ස්හිදී වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලක්ද විවෘත කෙරිණ. මුහුදු යාත්‍රාවලට තත්ත්ව සහතික ලබා දීම සඳහා දියත් මඟක් (Slip way) ඉදිකිරීමද මේ වන විට සිදු කෙරේ.
AP