නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සීගිරි බිතු සිතුවම් සංරක්ෂණයට ජාත්‍යන්තර විශේෂඥ සහාය

    සැප්තැම්බර් 06, 2016

    සීගිරි බිතු සිතුවම් සංරක්ෂණයට අමාත්‍යවරයාගේ උපදෙස් මත ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධ සංරක්ෂණය, ප්‍රතිසංස්කරණය හා ස්මාරක පිළිබඳ අන්තර්ජාතික ආයතනයේ (ICCROM ) විශේෂඥයකු වන වනර් ස්මිත් මහතා ඊයේ (05) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමු වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.

    ඒ අනුව සීගිරි චිත්‍ර සංරක්ෂණය සඳහා ජාත්‍යන්තරයේ භාවිත වන නව රසායනික හා විද්‍යාත්මක ක්‍රමවේද යොදා ගැනීමට අවශ්‍ය විශේෂඥ සහාය ස්මිත් මහතා විසින් ලබාදීමට නියමිතය.

     

    කාලයක් පුරා සීගිරි චිත්‍ර සම්බන්ධව පැන නැගුණු ගැටලුකාරී තත්ත්වයන් පරීක්ෂා කර බලා වාර්තාවක් සැපයීමට අමාත්‍යවරයා  විසින් කමිටුවක් ද පත්කරන ලදී.

     

    එම කමිටු වාර්තාවට අනුව සීගිරි චිත්‍ර විනාශ වීම සඳහා බලපාන විවිධ සාධක පිළිබඳ අවධානය යොමු කර තිබුණු අතර දේශගුණික, කාලගුණික විපර්යාසයන් මෙන් ම වෙනත් බලපෑම් හේතුවෙන් සිදු වන හානිවීම් වළක්වාලමින් නවීන විද්‍යාත්මක  සංරක්ෂණ ක්‍රමවේදයන් යොදා ගැනීමේ අවශ්‍යතාවය ද ඒ හරහා මතු කර තිබේ. ඒ අනුව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවේ ලෝක උරුම සීගිරියේ බිතු සිතුවම් සංරක්ෂණය වෙනුවෙන් ජාත්‍යන්තර විශේෂඥ සහය ලබාගන්නා ලෙසයි.

     

    ඒ සඳහා සීගිරි බිතු සිතුවම් සංරක්ෂණය සඳහා ජාත්‍යන්තරයේ භාවිත වන නව රසායනික හා විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධ සංරක්ෂණය, ප්‍රතිසංස්කරණය හා ස්මාරක පිළිබඳ අන්තර්ජාතික ආයතනය (ICCROM) කැමැත්ත පළ කරනු ලැබූ අතර වනර් ස්මිත් මහතා දිවයිනට පැමිණියේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

     

    සිතුවම් සංරක්ෂණය පිළිබඳ විශේෂඥයකු වන වනර් ස්මිත් මහතා සීගිරි බිතු සිතුවම් වලට අමතරව දඹුලු ලෙන් විහාර සිතුවම් සංරක්ෂණය පිළිබඳව ද අවධානය යොමු කිරීමට  නියමිතයි.

     

    ස්මිත් මහතා හමු වූ අධ්‍යාපන අමාත්‍යවරයා ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් සිය කෘතවේදිත්වය පළ කළේය. මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය සෙනරත් දිසානායක ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya