අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙරළාසන්න මගී ප්‍ර‍වාහනය සඳහා රුපියල් මිලියන 50 ක්

    සැප්තැම්බර් 02, 2016
    රටේ සහජීවනය සහ සමඟිය ඇති කිරීම උදෙසා උතුරු ප්‍රදේශයේ සංවර්ධනය වේගවත් කළ යුතු බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය යාපනය කයිට්ස්හිදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් අතර ආරක්ෂාකාරි බෝට්ටු සේවාවක් ඉතා ඉක්මනින් ආරම්භ කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
    “රට සංවර්ධනය කිරීමේදී උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර ලෙස සමස්තයක් ලෙස සංවර්ධනය කිරීමට අපි අපේක්ෂා කරනවා.අපි මේ වනවිට උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු වේගවත් කර තිබෙනවා. අද අපි ආරම්භ කරන යාපනය අර්ධද්වීපයේ දූපත් අතර ප්‍ර‍වාහන ව්‍යාපෘතිය එහි එක් පියවරක්. ඒ යටතේ උතුරේ දුපත්වල ජීවත් වන වැසියන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට අපි අපේක්ෂා කරනවා...” යැයිද අමාත්‍යවරයා පැවසීය.
     
    වෙරළාසන්න මගී ප්‍ර‍වාහන විෂය අයත් වන්නේ වරාය සහ නාවික අමාත්‍යාංශයට වේ. එම විෂය ව්‍යාප්ත කිරීම සඳහා මේ වර්ෂයට රජය වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 50 කි.  යාපනය අර්ධද්වීපයේ දූපත් අතර ප්‍ර‍වාහන කටයුතු විධිමත් කිරීම සහ නියාමනය කිරීමට එම මූල්‍ය ප්‍ර‍තිපාදන මූලික වශයෙන් වැය කෙරේ.  වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය කයිට්ස්හිදී අද විවෘත කෙරුණේ එහි මූලික පියවර ලෙසයි . යෝජිත නාවික යාත්‍රා පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම්ද අද කයිට්ස්හි සුරුවිල්හිදී ආරම්භ කෙරිණ. ඉදිරි ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍ර‍තිපාදන යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහන් මහතා වෙත ලබා දීමද අර්ජුන රණතුංග මහතාගේ සුරතින් අද සිදු විය. 
     
    යාපනය අර්ධද්වීපයේ වෙරළාසන්න මගී ප්‍ර‍වාහනය සිදු කෙරෙන දුපත් 5කි. ඒ නාගදීපය, ඩෙල්ෆ්, අනලතිව්, එලුවතිව්, කරෙයිතිව් වේ. බොහෝවිට මේ දූපත් අතර වූ මගී ප්‍ර‍වාහනය අනාරක්ෂිතව සිදු කෙරේ. ගාස්තු අය කිරීමේ නිසි ක්‍ර‍මවේදයක්ද නොපවතී. ඇතැම් යාත්‍රා අබලය. රක්ෂණ ක්‍ර‍මවේදයක්ද භාවිත නොකරයි. ගමන්වාර කාලසටහනක්ද නැත. වරාය හා නාවික අමාත්‍යාංශයේ අපේක්ෂාව වන්නේ එවැනි ගැටළු හඳුනා ගනිමින් ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීමයි.
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya