2014 වසරේ දී උසස් පෙළ සම්බන්ධ පැමිණිලි 402ක් සහ 2015 වසරේ දී පැමිණිලි 152ක් විභාග දෙපාර්තමේන්තුවට තිබෙන නමුත් මේ වසරේ දී වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 48ක් පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ද විභාග දෙපාර්තමේන්තුවට වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාවෙහි ද පැහැදිලි අඩුවීමක් මේ වසරේ දී දක්නට ලැබෙන බව පෙන්වා දුන්නේය.
2014 වසරේදී පැමිණිලි 38ක් සහ 2015 වසරේ දී වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 22ක් නමුත් මේ වසරේ දී ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් වාර්තා වී තිබෙන්නේ පැමිණිලි 15ක් පමණක් බවත් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව වාර්තා වූ පැමිණිලි අතුරින් කිහිපයක් හැරුණුකොට සෙසු පැමිණිලි වාර්තා වී තිබෙන්නේ කොපිකිරීම, විභාග ශාලාවේ දී කතාකිරීම වැනි සුළු සිද්ධීන් කිහිපයක් පිළිබඳ පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවල දී විභාග නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන අතර විශේෂයෙන් ම පිට පළාත් සිසුන් දුෂ්කර දිස්ත්‍රික්කයන්හි පාසල්වලින් විභාගයට පෙනී සිටීමේ සිද්ධීන් කාලාන්තරයක් තිස්සේ සිදුව ඇති බවට තොරතුරු හෙළි වීමත් සමඟ ඒ පිළිබඳ චක්‍රලේඛ ප්‍රකාරව ක්‍රියාත්මක වන ලෙස ද අමාත්‍යවරයා විභාග කොමසාරිස්වරයාට විශේෂයෙන් උපදෙස් ලබා දුන බව ද සඳහන් කරයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදා ගනිමින් දිවයින පුරා විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ සෝදිසිකිරීම් සිදු කර තිබේ.
එහිදී මධ්‍යම පළාතේ සහ වයඹ පළාතේ පාසල්වලින් වෙනත් ප්‍රදේශවල සිසුන් විභාගයට පෙනී සිටීමේ සිද්ධීන් කිහිපයක් ම අනාවරණය විය. මෙම සිද්ධීන් පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, ඊට සම්බන්ධ විදුහල්පතිවරුන් දෙදෙනෙකුගේ රාජකාරී වැඩ තහනම් කර තිබේ.
මීට අමතරව මෙලෙස පිට පළාත්වල සිසුන්ට අවස්ථාව ලබාදීම්වල දී මුදල් අය කරගැනීමක් හෝ අල්ලස් ලබාගැනීමක් සිදුකර තිබේ ද යන්න පිළිබඳ විමර්ශනය සඳහා එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
අදාළ සිද්ධීන්ට සම්බන්ධ සිසුන් පිළිබඳ තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් ගැනීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් අද (30) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි. අදාළ ප්‍රදේශයන්හි සත්‍ය වශයෙන් ම පදිංචිව සිටින සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි මෙහිදී කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
විභාග සම්බන්ධයෙන් පසුගිය සමය තුළ වාර්තා වූ ප්‍රශ්නපත්‍ර බෙදාහැරීම සහ මුද්‍රණය සම්බන්ධ බරපතල ගැටලු මෙවර වාර්තා නොවීම සතුටට කරුණක් වුවද, විභාග ශාලාධිපතිවරුන්ගේ නොසැලකිලිමත්කම සහ වගකීම් පැහැරහැරීම හේතුවෙන් ප්‍රධාන ගැටළු කිහිපයක් නිර්මාණය වී තිබිණි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් කරුණු විමසා ඇති අතර, දැනට විභාග රාජකාරී සිදුකරන ශාලාධිපතිවරුන්ට අමතරව, අලුතින් විදුහල්පති සේවයට බඳවාගත් නිලධාරීන් 3,858 දෙනා විභාග ශාලාධිපතිවරුන් වශයෙන් සේවයට සම්බන්ධ කරගැනීමට කටයුතු යොදන ලෙස ද අමාත්‍යවරයා විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව ඔවුන් එළඹෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දී විභාග රාජකාරී සඳහා යෙදවීමට නියමිතයි. ඒ වෙනුවෙන් ඔවුන්ට විශේෂ පුහුණුවක් ද ලබාදෙන අතර, මේ වනවිටත් ඔවුන් අතරින් විභාග ශාලාධිපතිවරුන් ලෙස කටයුතු කර ඇති නිලධාරීන් ශාලාධිපතිවරුන් ලෙසත් සෙසු නිලධාරීන් සහකාර ශාලාධිපතිවරුන් ලෙසත් එළඹෙන අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ දී අදාළ විභාග රාජකාරී සඳහා එක්වනු ඇති.
2017 වසරේ සිට ඔවුන් අතරින් සහකාර ශාලාධිපතිවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් ද ශාලාධිපතිවරුන් ලෙස උසස් කිරීමට ද සැලසුම් කර තිබෙන බව ද අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කරයි.