මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත මහා නගරයක් ලෙස නිර්මාණයට සැලසුම්

    අගෝස්තු 23, 2016

    කොළඹ කේන්ද්‍ර කරගෙන බස්නාහිර පළාත මහා නගරයක් හැටියට නිර්මාණය කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    වරාය ආශි‍්‍රතව, ගුවන්තොටුපල ආශ‍්‍රිතව ඒ වගේම මූල්‍ය නගරයන් ලෙස, විශේෂයෙන් ම අද ලෝකයේ මූල්‍ය නගර ලෙස අතීතයේ ගොඩනැගුණු, ලන්ඩනය, නිව්යෝර්ක් නගරය මෙන්ම නූතන කාලයේ ගොඩනැගුණු හොංකොං, සිංගප්පූරුව සහ ඩුබායි  ආදර්ශය අරගෙන ඊටත් වඩා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමට රජය කටයුතු කරගෙන යන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ වාණිජ වටිනාකමකින් යුත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉඩම් පිළිබඳව ආයෝජකයින් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එසේම අනෙකුත්  නගර පිළිබඳවත් විධිමත් වැඩපිළිවෙළ ගෙන යන බවත්  පදනම වී තිබෙන ජාතික භෞතික සැලැස්ම සකස් කර ලබන වසරේ ඉදිරිපත්  කරන්න බලාපොරොත්තු වන බවත්  ඊට සාපේක්‍ෂව හම්බන්තොට, ගාල්ල, මහනුවර, අනුරාධපුර, පොලොන්නරුව, ති‍්‍රකුණාමලය,යාපනය මේ ආදී ප‍්‍රදේශ විධිමත්ව සංවර්ධනය කිරීමට විධිමත් නාගරික සැලසුමක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    අමාත්‍යරවයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    සටන් පාඨවලට මේ රට ගොඩනගන්න බැහැ. ඒක පැහැදිලියි. 1948 අපට නිදහස ලැබෙන වෙලාවේ කොළඹ වරාය ලෝකයේ පස්වෙනි ස්ථානයේ පැවතුනේ. අද ඒක විසි හයවන ස්ථානයට පසු බැසලා තියෙනවා. ඒ සටන් පාඨ නිසා. ඒ වගේම මැද පෙරදිග අපේ සහෝදරියන් විශාල පිරිසක් සේවය කරනවා. ඒ අය පිළිබඳව නොයෙක් සටන් පාඨ ඇහුනත් ඒ අය නැවත මේ රටට ගෙන්වාගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපේ සම්පත, අපේ ඛණිජ සම්පත, අපේ තෙල් හා ගෑස් සම්පත ඒ වගේම අපේ මැණික් සම්පත, අපේ තේ සම්පත සහ අපගේ ආහාර සම්පත පරිහරණය කරමින් යොදා ගනිමින් මේ රට වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් තර`ගකාරීව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.  අපි මේ කලාපයේ ස්ථාවරම රට. ආරක්‍ෂකමය පැත්තෙන්. ඒ වගේම දේශපාලනමය පැත්තෙන්. ඒ වගේම සමාජමය පැත්තෙන්, ස්ථාවරම රට. ඒ නිසා  ඕනෑම කෙනෙකුට මෙහි පැමිණ ආයෝජනය කිරීමේ හැකියාව, ලැබෙනවා. මේ විසිඑක්වෙනි සියවස ඉන්දියානු සාගරයේ සියවස, ඒ ඉන්දියානු සාගරයේ හරිමැද ඉන්න අපි නැගෙනහිර අප‍්‍රිකාවේ සිට මැදපෙරදිග ඒ වගේම දකුණු ආසියාව, ඒ වගේම බටහිර ආසියානු රටවල්, ඉන්දුනීසියාව,  ඕස්ටේ‍්‍රලියාව දක්වාම මේ හැම රටකම ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය, වාණිජ මධ්‍යස්ථානය බවට මේ රට පරිවර්ථනය කරන්න අපි ඉදිරි කාලයේ අධිෂ්ඨානයකින් යුතුව කි‍්‍රයාකරන බව මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරමින් එහි ඔබ හුදු සාක්ෂි කරුවෙක් නොවී එහි හවුල් කරුවෙකු වෙන්නයි ඔබ හැමටම ආරාධනා කරනවා.

    මෙම අවස්ථාවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජි.  නිහාල් රූපසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ, අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජි. සුමේධ රත්නායක යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් ආයෝජකයින් විශාල පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya