මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ අනවසර පදික වෙළෙඳ නීතිය ලබන 15 වැනි දා සිට තදින් ක්‍රියාත්මකයි

    අගෝස්තු 19, 2016

    ලබන සැප්තැම්බර් 15 වෙනිදායින් පසු කොළඹ නගරයේ අනවසර පදික වෙළෙඳුන්, අනවසර දැන්වීම් පුවරු සහ අත් කරත්ත වෙළෙඳුන් ඉවත් කිරීමට අද තීරණය කළ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

    එම අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්, එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

     

    පදික වේදිකාවේ පුවත් පත් කුටි සහ ලොතරැයි කුටි සඳහා අවසර ලබාගෙන, වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන බව, පොලිසිය මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය. ඊට අමතරව, ජංගම රථ ස්ථානගත කළ ස්ථාන වෙනස් කිරීම, එම රථවලට අමතර කොටස් එකතුවීම නිසා පදික වේදිකාවේ ගමන් කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

     

    ස්වයං රැකියාවක් ලෙස හඳුන්වාදුන් ජංගම රථ ලබාගත් පුද්ලයින්, ඒවා කුලියට ලබාදී ඇති බව ද පොලිසිය අනාවරණය  කර තිබෙන අතර නීත්‍යානුකූල වෙළෙඳ සැල් වල දොරටුව අවහිර වීම සහ ඔවුන්ගේ රථ වාහන ගාල් කළ නොහැකි බවට පැමිණිලි රැසක් ද පොලිසියට ලැබී තිබේ. පොලිසිය පෙන්වාදුන්නේ, මේ කරුණු මත කොළඹ නගරයේ පදික වේදිකාව, පදිකයින්ට අනාරක්ෂිත වී ඇති බවයි.  එමෙන්ම අනවසර පදික වෙළෙඳුන් නිසා පදිකයින් අනතුරු වලට ලක්වී ඇති බවට ද වාර්තා රැසක් ලැබී තිබේ.


    කොළඹ නගරයෙන් ඉවත්කෙරෙන අනවසර පදික වෙළෙඳුන් සඳහා කොළඹ නගර සභාව මේ වනවිටත් විකල්ප ස්ථාන හඳුනාගෙන තිබේ. පසුගිය අගෝස්තු 05 වැනිදා පොලිසිය කරන ලද සමීක්ෂණයෙන් හඳුනාගත් අනවසර වෙළෙඳුන් සඳහා කොළඹ මහ නගර සභාව, ඉදිරි දින වලදී එම විකල්ප ස්ථාන ලබාදීමට නියමිතය.

    එම විකල්ප ස්ථාන වලට විදුලිය, වැසිකිලි සහ ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස ද පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා කොළඹ මහ නගර සභාවට උපදෙස් දුන්නේය. එමෙන්ම සැප්තැම්බර් 15 වැනිදායින් පසුව, කොළඹ මහ නගර සභාව සහ පොලිසිය හඳුනාගත්, පදිකයින්ට බාධා නොවන ස්ථානවල ලොතරැයි කුටි සහ පත්තර තට්ටු නැවත ස්ථානගත කිරීමට නියමිතයි.  එම ලොතරැයි කුටි සහ පත්තර තට්ටු කොළඹ මහ නගර සභාව අනුමත කළ සැලසුමකට අනුව පවත්වාගෙන යායුතු බවටද අද පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

    එම කුටි සහ තට්ටු වල වෙනත් ද්‍රව්‍ය අලෙවි කළ නොහැකි බවට, වෙළෙඳුන් සමඟ කොළඹ මහ නගර සභාව ගිවිසුම්ගත වීමට  නියමිතයි. එමෙන්ම ලොතරැයි කුටි වල ඩෙසිබල් පහට අඩු ශබ්දයක් භාවිත කළ යුතු බවට වන නීතිය, සැප්තැම්බර් 15 වෙනිදායින් පසුව තදින්ම ක්‍රියාත්මක වනු ඇති.
    කොළඹ නගරයේ වෙළෙඳාම පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාගේ උපදෙස් මත, පසුගියදා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

    අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාට පදිකයින්ගේ ලැබුණු විශාල පැමිණිලි සංඛ්‍යාවක් සැලකිල්ලට ගෙන, ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ  උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ. කොළඹ නගරයේ පදික වේදිකාවේ බාධාවකින් තොරව පදිකයින්ට ගමන් කිරීමට අවස්ථාව ලබාදීම, මාර්ග වල රථවාහන තදබදය අඩු කිරීම සහ කොළඹ නගරයේ අලංකරණය සඳහා කටයුතු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. ඒ අනුව, විකල්ප ස්ථාන ලබාදී පදික වෙළෙඳුන් ඉවත් කිරීමට ෆයිසර් මුස්තෆා මහතා නිලධාරීන්ට උපදෙස් දී  ඇත.

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, කොළඹ මහ නගර සභාව, පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධනය ලොතරැයි මණ්ඩලයේ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya