යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරීනා බොකෝවා මහත්මියගේ පළමු ශ්‍රී ලාංකීය නිල සංචාරය ද මෙයයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා විසින් ඉරීනා බොකෝවා මහත්මිය, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා ඇතුළු පිරිස සීගිරිය කෞතුකාගාර පිවිසුමේ දී පිළිගත්තේය.
සීගිරිය ජල උද්‍යානය, සිංහ පාදය, කැටපත් පවුර සහ සීගිරි බිතු සිතුවම් මෙන් ම සීගිරි කෞතුකාගාරය ද මෙහි දී අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නිරීක්ෂණයට ලක් වූවාය. සීගිරිය නැරඹීමට පැමිණ සිටි පාසල් සිසුන් සමඟ සුහද කතාබහකට ද එක් වූ බොකෝවා මහත්මිය යුනෙස්කෝ වැඩසටහන් සඳහා පාසල් සිසුන්ට සම්බන්ධ විය හැකි අවස්ථා සම්බන්ධව ද පැහැදිලි කිරීමක් ද සිදු කළාය.
සීගිරිය කෞතුකාගාර පරිශ්‍රයේ රැස්ව සිටි පිරිස ඇමතූ ඉරීනා බොකෝවා මහත්මිය මෙරට පැවති අතීත ශ්‍රී විභූතිය පිළිබඳ තමා පුදුමයට පත්වන බවත්, එම අතීත වටිනාකම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරදීමේ වගකීම වෙනුවෙන් තම සංවිධානය කැපවී ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේ ය.