මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලා ශිල්පී විජය නන්දසිරි මහතාගේ නික්ම යාම පිරවිය නොහැකි හිඩැසක්- කතානායක

    අගෝස්තු 11, 2016

    අභාවප්‍රාප්ත රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ නික්ම යාම කලා ලෝකයේ කිසිදා පිරවිය නොහැකි හිඩැසක් නිර්මාණය කර ඇති බව ඒ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කථානායක කරු ජයසූරිය මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

     

    " ශෝක පණිවුඩය

    කලා ලෝකයේ අඩ සිය වසකට ආසන්න කාලයක් පුරා ස්වර්ණමය පරිච්ඡේදයක් සනිටුහන් කළ තවත් සොඳුරු මිනිස‍කු ජීවන රඟමඩලින් නික්ම ගොස් ඇත. එහෙත් විජය නන්දසිරි නම් අති විශිෂ්ඨ රංගධරයා ශ්‍රී ලාංකීය ජනතා හදවත් තුළ තවත් ‍යුග ගණනක් ජීවමානව සිටිනු ඇත.

     සැබැවින්ම විජය නන්දසිරි යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යමෙකු දුටු සැනින් ප්‍රිය උපදවන පිරිපුන් මිනිසෙකි. රංගන ශිල්පියෙකු ලෙස තමාටම අනන්‍ය රංගවේදයක් ප්‍රකට කළ විජය නන්දසිරි නම්  මේ පිරිපුන් මිනිසාට ඇලුම් නොකළ කවර තරාතිරමේ හෝ ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව මගේ විශ්වාසයයි.

     

     විටෙක වේදිකාව තුළින් ඔහු මහා සම්භාව්‍ය නාට්‍යකරුවෙකුගේ ප්‍රතිභාව පිළිබිඹු කළේය. තවත් විටෙක සිනමාවේ අහිංසක පෙම්වතා වූ  ඔහු, තරුණ හදවත් ස්පර්ශ කළේය. සිංහබාහු, මනමේ වැනි කෘතීන් තුළින් විජය නන්දසිරි  ඔදතෙද ‍පිරුණු මහා පෞරෂයක් ප්‍රකට කළේය. ඒ සියල්ල අතුරින් මෑත භාගයේදී හාස්‍යෝත්පාදක රංගනයෙහිලා විජය නන්දසිරි සලකුණ කැපී පෙනේ. එය සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනු ලැබූහ.

     

    මා ‘විජය නන්දසිරි’ නම් අද්විතීය කලාකරුවාගේ දිගුකාලීන රසිකයෙක්මි.  විශේෂයෙන්ම ඔහු දායක වූ  වේදිකා නාට්‍ය නිර්මාණ සියල්ලක්ම පාහේ රසවිඳීමට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයකි. විටෙක ඔහුගේ රංගන කෞශල්‍යයන් පිලිබඳ, වේදිකාව අභියසට ගොස් මා ඔහුව අගය කළෙමි. හැකි විටෙක, දුරකථනයෙන්ද ඔහු අමතා සුවදුක් විමසුවෙමි.මා ඔහුගේ නිර්මාණ පිළිබඳව පැසසුම් කළෙමි. ඒ සෑම විටකම අපගේ පිළිසඳර අවසන් වූයේ ඔහු මැවූ තවත් අපූර්ව සිනහවකින්මය.

     

    විජය නන්දසිරි නම් ප්‍රතිභා පූර්ණ රංගවේදියා තුළ මා දකින සුවිශේෂීම ලක්ෂණය නම් 70 දශකයේ මුල් භාගයේ සිට වත්මන් යුගය දක්වාම විවිධාකාර රැළි පෙරළි අතික්‍රමණය කරමින් සිය රංගන ප්‍රතිභාව කාලානුරූපව ගලපාගැනිමට ඔහුට තිබූ හැකියාවයි. එදා මෙදා තුර ඔහු දායක වූ සෑම නිර්මාණයකටම උපරිම කැපවීමෙන් සාධාරණය ඉටු කිරීම මේ පිටුපස තිබූ රහස බව පැහැදිලිය. රංගන ශිල්පියෙකු ලෙස ගෙවී ගිය දශක පහ තුළම ඔහු පැමිණි ගමන අපරාජිතය. මේ සොඳුරු කලාකරුවාගේ අභාවය පිළිබඳ කණගාටුදායක පුවත සමස්ත ශ්‍රී ලාංකිකයන් තුළ මෙන්ම මා තුළද ඇති කළේ ඉමහත් කම්පනයකි.  ඔහුගේ නික්ම යාම කලා ලෝකයේ කිසිදා පිරවිය නොහැකි හිඩැසක් නිර්මාණය කර ඇති බව මගේ හැඟීමයි. එහෙත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත වලට සැහැල්ලුව, සතුට ළං කර දීම තුළින් ඔහු මහත් වූ පුණ්‍ය සම්භාරයක් රැස් කර ඇති බව මා විශවාස කරමි. එම පිනෙන්ම ඔහු සුගතිගාමී වනු ඇත.

     

    මේ මොහො‍තේ විජය නන්දසිරි නම් අසහාය රංගධරයාගේ අභාවය වෙනුවෙන් ශෝකයට පත් ඔහුගේ බිරිඳ, දූ දරුවන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත  ප්‍රේක්ෂකයන් සමඟ එක්ව මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, මා ප්‍රිය සුමිතුරු විජය නන්දසිරි කලාකරුවාණන්ට නිවන් සුව පතමි.

     
    කරු   ජයසුරිය
    කථානායක,
    ශ්‍රී  ලංකා  පාර්ලිමේන්තුව "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya