අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රේගු කෙටුම්පත ගැන වෘත්තීය සමිති හා සිවිල් සමාජ සමඟ සාකච්ඡාවක්

    ජූලි 31, 2016

    නැවත ගල් යුගයට ගමන් නොකර රේගුව නවීකරණය වෙත රැගෙන යාමේ අපේක්ෂාවෙන් මෙම කෙටුම්පත සකස් කිරීමට යෝජනා කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ‍ඒ මහතා ප්‍රකාශ කළේ රේගු ආදායම තවත් ඉහළ නංවා ගනිමින් ජනතාවගේ බදු බර පහත දැමීම රජයේ අපේක්ෂාව බවයි.

     

    2016 අයවැය මගින් යෝජනා කර ඇති පරිදි නව රේගු පනතක් සකස් කිරීමට අදාළ අදහස් ලබා ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යවරයා සහ රේගු වෘත්තීය සමිති නියෝජිතයෝ, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ සහ  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර පසුගියදා මුදල් අමාත්‍යාංශයේ දී පැවැති අතර එහි ඔහු මේ බව සඳහන් කළේය.

     


    නව රේගු පනත් කෙටුම්පත සකසා ගැනීම සම්බන්ධයෙන් ලැබී ඇති අදහස් ඉදිරි සති දෙකක කාලය තුළ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර යළිත් සාකච්ඡා වටයක් පවත්වා අවසන් එකඟතාවයන් එළැඹීමට නියමිත බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

     

    “රේගු නිලධාරීන්, නීතිඥ සංගමය සහ සිවිල් සංවිධාන මගෙන් කළ ඉල්ලීමකට අනුව තමයි අද මේ සාකච්ඡාව පැවැත් වුණේ. ඉදිරිපත් කිරීමට යෝජිත කෙටුම්පත සම්බන්ධයෙන් විනිවිධභාවයෙන් කටයුතු කිරීමට අවශ්‍ය අදහස් හුවමාරු කිරීමක් තමයි අද සිදු වුණේ. ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා මේ නව පනත මගින් ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමක් කරනවා කියල.
    බදු ගෙවන්නන්ගේ බදු බර අඩු කරන්න, රේගුවේ බදු ආදායම වැඩි කරන්න අවශ්‍ය නවීකරණය තමයි අපි මේ කරන්න සූදානම් වෙන්නෙ. නැවත ගල් යුගයට යන්නෙ නැතුව නවීකරණය කරා යන්නයි අපේ අපේක්ෂාව. අවුරුදු 11ක් විතර මේ රටේ වුණ දුෂණ නැවත සිදු නොවෙන්න තමයි අපි මේ පනත ගේන්නේ. විශේෂයෙන් ජාවාරම්කරුවන්ට අවස්ථාව නැති කරන එක තමයි මේ පනත හරහා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. එවැනි අවස්ථා නැති වීමේ වේදනාවෙන් තමයි ඇතැම් පාර්ශ්වයන් අසත්‍ය පතුරවන්නෙ. පනත් කෙටුම්පත ලැබිල නෑ කියල එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් කියනව රේගුවේ බලතල අඩු කරන්න හදනවා කියල. මේ දෙකම ඇත්ත වෙන්න බෑනෙ.
    එදා රුපියල් බිලියන 300ක විතර තිබුණ වාර්ෂික රේගු ආදායම අද බිලියන 800 පමණ දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ පිරිසිදු පාලනයක් තියෙන නිසා. මීටත් වඩා යමක් නව පනතෙන් සිදු වෙනව කියන විශ්වාසය අපි තුළ තියෙනවා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සිවිල් සංවිධාන නියෝජනය කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සහ මහාචාර්ය සරත් විජේසුරිය, සමන් රත්නප්‍රිය, නීතීඥ ජේ.සී. වැලිඅමුණ, රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya