මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්ද ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කරන විදිය මෙන්න

    ජූලි 09, 2015

    පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයින්ගේ ඡන්ද පොළෙහි තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතක් භාවිත කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

    ඊට අමතරව වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත (පැරණි හෝ නව E- හැඳුනුම්පත), වැඩිහිටි හැඳුනුම්පත ( ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන ලද) පුද්ගලයින් ලියාපදිපංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන පූජ්‍ය /පූජක හැඳුනුම්පත, 2015.01.08 දින පැවැත්වූ ජනාධිපතිවරණය සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත් (නැවත වලංගු කිරීමෙන් පසුව ග්‍රාම නිලධාරීන් මඟින් බෙදා හරිනු ලැබේ) ලේඛන අනන්‍යතාව තහවුරු කිරීමට ඉදිරිපත් කළ හැකිය.

     

    ඉහත හැඳුනුම්පත් අතරින් කවර හෝ එක් හැඳුනුම්පතක් නොමැති ඡන්ද හිමියන් මෙම කාර්යය සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පතක් නොපමාව ලබා ගත යුතුය. එමෙන්ම හැඳුනුම්පතක් තිබුණු ද එය කියවිය නොහැකි තරමට අකුරු මැකී ගොස් ඇත්නම් හෝ ඡායාරූපය අපැහැදිලි නම් හෝ එම ඡන්ද හිමියන් විසින් ද තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීම අත්‍යවශ්‍යය.

    අපැහැදිලි අයදුම්පත්, අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන මඟින් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පත/ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේදී නිකුත් කරනු ලබන කුවිතාන්සිය වැනි ඡායාරූපයක් සහිත හෝ රහිත වෙනත් කිසිඳු ලියවිල්ලක් වලංගු හැඳුනුම්පතක් සේ ඡන්ද පොළේ දී පිළිගනු නොලැබේ.

     

    තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීම, ඡන්ද හිමියා පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී/ වතු අධිකාරී මඟින් සිදු කරනු ලබන බැවින් තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඡන්ද හිමියන් නොපමාව මෑත දී ගත් පළල සෙ.මී.2x උස් සෙ.මී3 ප්‍රමාණයේ වර්ණ හෝ කළු සුදු ඡායාරූප පිටපත් දෙකක් ද රැගෙන තමා පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී/වතු අධිකාරී හමු වන මෙන් දැනුම් දෙනු ලැබේ. තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අදාළ ඡන්ද හිමියා විසින් ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී විසින් නිකුත් කරනු ලබන අයඳුම්පත සම්පූර්ණ කර ඉහත සඳහන් ඡායාරූප පිටපත් දෙක ද සමඟ ඔහු හෝ ඇය වෙත භාරදිය යුතුය. මේ සඳහා කිසි ම මුදලක් අය නොකරන බව ද සලකන්න.

     

    මෙම අයදුම්පත් භාරගැනීම 2015.08.10 දිනෙන් අවසන් කරනු ලබන බව විශේෂයෙන් දන්වන අතර ග්‍රාම නිලධාරී/වතු අධිකාරී විසින් අදාළ තාවකාලික හැඳුනුම්පත් දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය/නියෝජ්‍ය/ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ අනු අත්සන ලබාගෙන ඡන්ද විමසීම් දිනට පෙර අදාළ අයදුම්කරුවන් වෙත භාරදෙනු ලැබේ. නියමිත අනු අත්සන නොමැති තාවකාලික හැඳුනුම්පත් පිළිගනු නොලැබේ.

     

    ඉහත සඳහන් හැඳුනුම්පත් සහ තාවකාලික හැඳුනුම්පත හැර වෙනත් කිසිදු හැඳුනුම්පතක් හෝ ඡායාරූපය සහිත ලියවිල්ලක් ඡන්ද පොළේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පිළිගනු නොලැබේ. ඉහත සඳහන් කිසියම් අනන්‍යතා ලේඛනයක් මඟින් අනන්‍යතාව සනාථ නොකරන ඡන්ද හිමියන් වෙත ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාවක් නිකුත් කළ නොහැකි වන බව වැඩිදුරටත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya