අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ ආහාර අලෙවි සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට

    අගෝස්තු 03, 2019

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව ජාතික ආහාර සුරක්ෂිතතා වැඩ සටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආහාර අලෙවි සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය මත ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව ජාතික ආහාර සුරක්ෂිතතා වැඩ සටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආහාර අලෙවි වෙළෙඳ සැල් මෙම සතිය පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්කෙරෙන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. බී. ගුණතිලක මහතා ප්‍රකාශ කරයි.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල 16ක් ක්‍රියාත්මක වන අතර, මෙම කාර්යාල මගින් ආහාර අලෙවි කරන ආයතන A, B, C, D, වශයෙන් වර්ගීකරණය කරමින් ආහාර අලෙවි සැල් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කර තිබේ. අදාල ප්‍රමිතිකරණය යටතේ පසුගිය වසරේ දී ආහාර වෙළඳසැල් 8292ක් පරීක්ෂාවට ලක් කර තිබේ. මෙම පරීක්ෂණ වලින් ඉහළ අවදානම් සහිත පරීක්ෂාවන් 189ක් සිදු කර තිබේ. එයින් ආහාර වෙළඳසැල් 128ක් හොඳ මට්ටමේ තිබුණ අතර වෙළඳසැල් 33ක් අවදානම් තත්වයේ තිබුණ බැවින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවරගෙන ඇත. මධ්‍යම අවදානම් සහිත ආහාර වෙළඳසැල් වර්ගීකරණය යටතේ පරීක්ෂා කිරීම් 619ක් සිදු කර ඇති අතර එයින් වෙළඳසැල් 472ක් හොඳ තත්ත්වයෙන් පවත්නා බව හඳුනා ගන්නා ලදී. එමෙන්ම, අවදානම් තත්වයේ පවත්නා බව හඳුනා ගත් වෙළඳසැල් හිමියන් 168කට නීතිමය පියවර ගෙන තිබේ. අඩු අවදානම් වර්ගීකරණය යටතේ සිදු කළ පරීක්ෂාවන් 1247 කින් වෙළෙඳසැල් 841ක් හොඳ තත්වයෙන් පැවැති අතර ආහාර වෙළෙඳ සැල් 289ක් අවදානම් තත්ත්වයේ පැවැති බැවින් එම වෙළඳ සැල් හිමියන්ට විරුද්ධවද නීතිය මඟින් කටයුතු කර ඇත.
    1980 අංක 26 දරන ආහාර පනත හා එම පනතේ විධිවිධානවලට යටත්ව මහජනතාවට සෞඛ්‍ය සම්පන්න නිසි ප්‍රමිතියකින් යුත් ආහාර අලෙවි කළ යුතු බැවින් සෑම වසරකටම අවම වශයෙන් දෙවරක් ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ආහාර වෙ‍ළඳසැලැක්ම පරීක්ෂණයට ලක් කරන අතර ගුණාත්මක වර්ගකිරීම් ප්‍රමිතිය අනුව එම සෝදිසි කිරීම් වසරකට උපරිම 12ක් දක්වා වැඩි වේ. ඉදිරියේදී තවදුරටත් සෑම ආහාර වෙළෙඳ සැලැක්ම ප්‍රමිතියකින් යුත් නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ආහාර අලෙවි කරනවාද, යන්න පිළිබඳව සෑම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයක්ම දැඩි විමසිල්ලෙන් කටයුතු කරනු ලැබේ.

    ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලයේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පසුගිය දිනවල සිදු කළ සාමාන්‍ය ආහාර පරීක්ෂණ සෝදිසි කිරීම්වලදී අයඩින් ලුණු ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳ සංනාම (Brand) 232ක් පරීක්ෂා කර එම අයඩින් ලුණු නිෂ්පාදනවල අයඩින් සංයුතියේ ඌනතාව පිළිබඳව රජයේ රස පරීක්ෂකට දැනුම් දී ඇත. එම රස පරීක්ෂණ වාර්තා පදනම් කරගෙන හඳුනාගත් ව්‍යාපාරිකයින් 72කුට විරුද්ධව නීති මඟින් කටයුතු කර ඇත.

    එමෙන්ම, ආහාර පනත යටතේ සිදුකළ අනෙකුත් පරීක්ෂණ මගින් අඩුපාඩු හඳුනාගෙන රජයේ රස පරීක්ෂණ වාර්තාවලින් සනාථ කළ ආහාර අලෙවිකරුවන් 174කට එරෙහිව අධිකරණයට වාර්තා කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. ගුණපාල මහතා අවධාරණය කරයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික ආහාර සුරක්ෂිතතා වැඩ සටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් ආවරණය වන පරිදි ජුලි 29 දින සිට අගෝස්තු 05 දින දක්වා විද්වතුන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා නීති අංශවල දායකත්වයෙන් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන් මඟින් ආහාර වෙළෙන්ඳන්, ආහාර නිෂ්පාදකයින් නිවැරදි ලෙස දැනුවත් කර මහජනතාවට උසස් ප්‍රමිතියකින් යුත් ආහාර නිෂ්පාදනය කිරීමට හා අලෙවි කිරීමට නිවැරදි මාර්ගෝපදේශනයන් ලබාදෙන බවද එම දැනුවත් කිරීමේ වැඩසටහන් අතරතුර වෙළෙඳසැල් පරීක්ෂාවට ලක්කෙරෙන බවද හෙතෙම අවධාරණය කරයි.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.