මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය වසරේදී රජය දියත් කළ ව්‍යාපෘති 11354 ක මහජන සේවා

    අගෝස්තු 02, 2019

    ප්‍රවෘත්ති නිවේදනය- ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය වසරේදී රජය දියත් කළ ව්‍යාපෘති 11354 ක මහජන සේවා

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් තවදුරටත් කාර්යක්ෂම කෙරේ. දිවයිනේ විශාලතම දිස්ත්‍රික්කයක් වන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මිලියන 24කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13කින් හා ග්‍රාම සේවා වසම් 1177කින් සමන්විත වේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලත්වය සැලකිල්ලට ගෙන ග්‍රාමීය මට්ටමේ සිට මහජන අවශ්‍යතා ඉටුකරමින් එහි යටිතල පහසුකම් හා සෙසු සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වසරේ දී පමණක් ව්‍යපෘති 11354ක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා රජය රුපියල් මිලියන 15000කට අධික ප්‍රමාණයක් වැයකර ඇතැයි පවසන ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා, එම සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් කාර්යක්ෂම කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය මත ක්‍රියාත්මක කෙරෙන ග්‍රාම ශක්ති හා අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පුළුල් කොට ඒවායේ ඵලදායීතාවය නංවාලීම සඳහා “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන මගින් මෙම සතිය පුරා කටයුතු කරන බව අවධාරණය කරයි.


    ඒ අනුව පසුගිය වසරේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 සඳහා විමධ්‍යගත අරමුදල යටතේ ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා ඉටුකිරීම සඳහා ව්‍යාපෘති 857ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 187ක් වැයකර තිබේ. මෙහිදී රේඛීය අමාත්‍යාංශ මඟින් ව්‍යාපෘති 6002ක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 3957ක් වැයකර තිබේ. එමෙන්ම බස්නාහිර පළාත් සභා අරමුදල් මත රුපියල් මිලියන 2639ක් වැයකරමින් සංවර්ධන ව්‍යාපෘති 3038ක් ද ක්‍රියාත්මක කර ඇති අතර පළාත් පාලන ආයතන මඟින් ව්‍යාපෘති 1189ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 415ක් වැය කර තිබේ. විදේශ ආධාර හා ව්‍යාපෘති යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 2ක් සඳහා රුපියල් මිලියන 5633ක් වැය කර ඇති අතර රුපියල් මිලියන 1761ක් වැය කරමින් ව්‍යවස්ථාපිත මණ්ඩල යටතේ ව්‍යාපෘති 266ක් ක්‍රියාත්මක කරමින් පසුගිය වසරේ දී ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා පුළුල් සංවර්ධන කාර්යභාරයක් ඉටුකර තිබේ.


    11354ක් වන මෙම සමස්ත සංවර්ධන ව්‍යාපෘති කෘෂිකර්මය, කර්මාන්ත, සංචාරක කටයුතු වෙළඳාම, මානවජනාවාස, ආර්ථික යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් හා ප්‍රවාහනය යන අංශ යටතේ ක්‍රියාත්මක කර වේ.

    ජුලි මස 29 වන දින සිට අගෝස්තු මස 05 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය මත ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන මඟින් මෙම ව්‍යාපෘතිවල
     අධ්‍යයනය කර එම වැඩසටහන්වල ප්‍රගතිය පසුවිපරම් කරමින් ඒවායේ කාර්යක්ෂමතාවය ඇගයීමට ලක්කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.


    එමෙන්ම,  “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන මගින් මෙතෙක් ග්‍රාමීය මට්ටමින් නොවිසඳුනු මහජන ගැටළු තවදුරටත් හඳුනාගෙන බිම් මට්ටමේ සිට ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවමින් ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිමත් කර ග්‍රාමීය ආර්ථික දියුණු කිරීම තුළින් ජනතාවට සංවර්ධනයේ සැබෑ පණිවුඩය ගෙනයාමට කටයුතු කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා තවදුරටත් පවසයි.

    මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහනේ සමාප්ති උළෙල අගෝස්තු මස 05 වන දින දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී මෙම සතිය පුරා ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහනේ සමස්ත ප්‍රගතිය ද ජනාධිපතිතුමන් විසින් ඍජු අධීක්ෂණයට ලක්කරන බවත් හඳුනාගත් ප්‍රතිලාභීන් වෙනුවෙන් හිමිකම් හා ප්‍රදානයන් ලබාදීම ද සිදුකිරීමට නියමිත බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.