එක්සත් ජාතීන්ගේ සංවිධානය, ශ්‍රී ලංකාවේ බලයට පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.
මෙම වර්ෂය තුළ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ජෛව විවිධත්ව සම්මන්ත්‍රණය, සාගර සමුුළුව, කාළගුණ විපර්යාස සමුළුව, සමාජීය සංවර්ධනය පිළිබඳ වූ සමුළුව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සමුළුව වැනි වැදගත් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව පැවසු ඒ මහතා ඒ සඳහා ශ්‍රී ලංකාවේ සක්‍රීය දායකත්වය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.
නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමඟ ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම නිත්‍ය නියෝජිතවරයා එහිදී පැහැදිළි කළ අතර ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීම සඳහා රජය ගෙනයන වැඩසටහන්වලට සම්පූර්ණ සහාය දීමට සූදානම් බවත් ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීමට මැදිහත්වීමටත් ඒ මහතා එකඟ වී තිබේ.
පසුගිය මැතිවරණවල දී ශ්‍රී ලාංකික ජනතාව ජාති භේද හෝ පළාත් භේදවලින් තොරව නව රජය විශාල ආසන සංඛ්‍යාවකින් බලයට පත්කිරීම ඓතිහාසික සිදුවීමක් බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.එසේ ම එම විශිෂ්ට ජයග්‍රහණය, ශ්‍රී ලාංකික ජනතාව අතර ඇති වූ නව සහජීවනයක් ලෙස පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි කාලවල දී ජාතික ඒකාබද්ධතාවය තහවුරු වන පරිදි කටයුතු කිරීමට රජය සාධනීය පියවර ගනිමින් සිටින බව ද පැහැදිළි කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල පවරාගෙන ඇති ඉඩම් අයිතිකරුවන්ට ආපසු දීම ඉදිරි කාලයේ තවදුරටත් සිදු කෙරෙන බවත්, ශ්‍රී ලංකා පොලීසියට බඳවාගැනීමේ දී සියලු ජාතීන් නියෝජනය වන පරිදි බඳවා ගැනීමට රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩි කිරීමට කටයුතු කරන මෙන් නේවාසික නියෝජිතවරයාගෙන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවලින් ශ්‍රී ලංකාවේ ප්‍රගතියට සහ යහපැවැත්මට සිදු කරන සේවය රජය බෙහෙවින් අගය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.