අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පෝෂණ මාසයේ අඩු වියදමකින් පෝෂණය සොයමු...දැනුවත් වෙමු. ආදේශක සොයමු. වවමු. බෙදාගමු...

    ඔක්තෝබර් 10, 2022

    ජාතික පෝෂණ මාසයේ අඩු වියදමකින් පෝෂණය සොයමු...දැනුවත් වෙමු. ආදේශක සොයමු. වවමු. බෙදාගමු...

    ජාතික පෝෂණ මාසය නැමති සංකල්පය සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් වැඩසටහනක් ලෙස වාර්ෂිකව පවත්වනවා. එහි අරමුණ වනුයේ පවතින පෝෂණ ගැටලුවක් කෙරෙහි මහජනතාවගේ අවධානය යොමු කිරීම මගින් හිතකර අන්දමින් චර්යාත්මක වෙනස්කමක් ඇතිකර ගැනීම සඳහා මහජනතාව පෙළඹවීමයි.

    ජාතික පෝෂණ මාසය වශයෙන් සෑම වසරකම නව තේමාවක් සමග මාසයක් තෝරාගනු ලබනවා. මෙම වසරේ එනම් 2022 වසරේ ඔක්තෝබර් මාසය ජාතික පෝෂණ මාසය ලෙස තෝරාගෙන ඇති අතර එහි තේමාව ලෙස මෙම දින වල දෛනිකව අත්‍යවශ්‍ය ලෙස දැනුවත් කළ යුතු කාරණාවක් තෝරාගෙන තිබෙනවා. එනම් මෙවර තේමාව අඩු වියදමකින් පෝෂණය... දැනුවත් වෙමු.. ආදේශක සොයමු... වවමු... බෙදාගමු යන්නයි.

     මෙම තේමාවෙහි දැනගමු දැනුවත් වෙමු යන කොටසින් අවධානය යොමු කරන්නේ පුද්ගලයින් තම තමන්ගේ පෝෂණ මට්ටම ගැන දැනුවත් වීම පිළිබදවයි. පාසල් දරුවන්, වැඩිහිටියන් ශරීර ස්කන්ධ දර්ශකය ඒ සදහා යොදාගත හැක. එමගින් තමන් සිටිනා පෝෂණ මට්ටම පිළිබදව අවබෝධයක් ලබාගත හැකි වෙයි. 

    කුඩා දරුවන්ගේ උපත් බරෙහි සිට අවුරුදු 05 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය යටතේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සායනයේ සහ ක්ෂේත්‍රයේ දරුවන්ගේ උස, බර, දිග මනිනු ලබයි. නමුත් පෝෂණ මාසයේදී සෑම වසරකම එක වෙලාවක සියලුම දරුවන්ගේ මෙම අගයන් එක වෙලාවක මනිනු ලබයි.  මෙම මාසයේදීත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දැනටමත් මෙම කටයුතු අරඹා ඇත.

    පෝෂණ මාසයේදී තමන්ගේ ප්‍රදේශයේ බහුලව ලබාගත හැකි පෝෂණ ගුණයෙන් අනූන වියදමින් අඩු ආහාර පිළිබදව දැනුවත් වීමද වැදගත් වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය ඒ පිළිබදව දැනුවත් වීමේ වැඩසටහන් සංවිධානය කර ඇත. තෙවනුව ආහාර පිසීමේ ක්‍රමය පිළිබදව අවධානය යොමු කිරීමද ඉතා වැදගත් වෙයි.ඉන්ධන පිරිමසිමින් කාලය අවම කරගනිමින් පෝෂණ ගුණය වැඩිකරගනිමින් වියදම අවම කරගනිමින් ආහාර පිසීමට යොමුවිය යුතුය. ඉතිරි වී ඇති එළවලු තුන හතරක් යොදාගෙන එක මාලුවක් ඉවීමට හැක. ප්‍රෝටීන සහ කැල්සියම් අවශ්‍යතාවය සපුරාගැනීම සදහා ඒළවලු වලට හාල්මැස්සන් තුන හතරක් එකතු කරගනිමින් ආහාර පිසින වට්ටෝරු වෙනස් කරගැනීමද යෝග්‍ය වෙයි.

    අවසාන දැනුවත් කිරීමේ අංගය වනුයේ මූල්‍ය කළමනාකරණයයි. මෙවැනි ආර්ථික අර්බුද හමුවේ එය ඉතාම වැදගත් දෙයකි. තම පවුලේ අයගේ පෝෂණ තත්ත්වය උපරිම පවත්වා ගැනීම සදහා වෙළදපොලෙන් මිලදී ගත යුත්තේ කුමන ආකාරයේ අත්‍යවශ්‍ය ආහාර කාණ්ඩද? ඒවා සදහා වියදම් කළ යුත්තේ කෙලෙසද? වියදම් නොකළ යුත්තේ කුමන දේ සදහාද යන්න පිළිබදව දැනුවත් විය යුතුය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වතු හා නාගරික සෞඛ්‍ය ඒකකය, මහ බැංකුව, ඇඩික් ආයතය හා සන් පී එෆ් ආයතනය එක්වී පුහුණු කට්ටලයක් නිර්මාණය කර ඇත. එමගින් ඕනෑම ආයතනයක තමන්ගේ කමිටු වල හෝ මූල්‍ය කළමනාකරණය පිළිබදව දැනුවත් කිරීමේ සැසියක් කතාකරගත හැක.

    අඩු වියදමින් පෝෂණය ලබාගන්න ආදේශක සොයමු යන්නෙන් අපගේපළාත් වල බහුලව පැවතියද අප නිරන්තරයෙන් භාවිතා නොකරන ඇතැම් ආහාර වට්ටෝරු සම්බන්ධයෙන් කතා කරන කුඩා පොත් පිංචක් සෞඛ්‍ය අමාත්‍යංශය ලබන සතියේදී එළිදැක්වීමටද නියමිතය.

    අඩු වියදමින් පෝෂණය සෙවීම සම්බන්ධයෙන් අවධානයට ලක් කිරීමේදී අපගේ අස්වැන්න ලබාගත් අවස්ථාවේ සිට පරිභෝජනය දක්වා වන ක්‍රියාවලියේදී අඩු වැඩි වශයෙන් සිදුවන ආහාර නාස්තිය ගෘහස්තමට්ටමින් සහ ප්‍රජා මට්ටමින් අවම කරගැනීමට අපි කළ යුත්තේ කුමක්ද යන්න සිතීම සහ ආදේශක සෙවීමට පෙළඹීම වැදගත් වෙයි. වැඩි වශයෙන් භාවිතා නොකළද අප ප්‍රදේශ වල බහුලව පවත්නා ගුණාත්මක බවින් වැඩි එළවලු, පලතුරු, ධාන්‍ය ආදිය ආදේශක සෙවීමේදී යොදාගත හැක.

    තවත්වැදගත් කරුණක් ලෙස වවමු... එනම් තම නිවෙස් වල ගෙවතු වල වගා කිරීමට පෙළඹීම කාලීන අවශ්‍යතාවයකි. මෙහිදී වවමු යන සංකල්පයේදී සාම්ප්‍රදායික ගෙවතු වගාවෙන් බැහැර වී ක්ෂුද්‍ර පෝෂඛ වලින් පොහොසත් එළවලු, පලතුරු හදුනාගෙන වගාවට යොමුවිය යුතු අතර ඒ සම්බන්ධව මාර්ගෝපදේශයක් කෘෂිකර්ම අමාත්‍යංශයෙන් අදුන්වාදී ඇත.

    වවමු යන සංකල්පය යටතේ පෝෂ්‍ය ගුණයෙන් සහ ප්‍රෝටීන බහුල ආහාරයන් වන බිත්තර නිෂ්පාදනයට යොමුවීම වැදගත් වන අතර හැකිනම් තම ගෙවත්තේ කුඩා ගොවිපොලක් පවත්වාගෙන යාම තම දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාය පිරිමසාගැනීමට උපකාරී වනු ඇත.

    මිරිදිය මත්ස්‍ය වගාව පිළිබද අවධානය යොමුකළ යුතුය. දිනකට එක පුද්ගලයෙකුට එක් වේලක් සදහා මාලු ග්‍රෑම් 30ක් ප්‍රමාණවත් වෙයි. තේමාවෙහි අවසන් සංකල්පය වන බෙදාගමු සංකල්පයට අනූව වැඩිපුර පවත්නා පිසින ලද ආහාර බෙදාගැනීමෙන් ආහාර පිගාන දේදුණු වර්ණයෙන් සියලු ආහාර කාණ්ඩ වලින් පරිපූර්ණව සමබල ආහාර වේලක් ලබාගත හැක.

    ප්‍රජා මුලුතැන්ගෙය නැමති සංකල්පය හැකියාවක් පවතින පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එක්වී සිදුකිරීම කාලීන වශයෙන් වැදගත් වන අතරම පාසල් සහ පෙර පාසල් දිවා ආහාර වැඩසටහන සදහා කැපකරු දායකත්ව ක්‍රමයක් මගින් පුද්ගලයින් දායක කරගැනීමට ඉදිරියේදී අවධානය යොමුකරයි. ස්වයංපෝෂිත ගම් නැමති සංකල්පය යටතේ ගම් මට්ටමින් තම වැවිළි ද්‍රව්‍ය සදහා වෙළදපොලක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී සැලකිල්ලට ගනු ලබයි.

    පෙර වසර වල පෝෂණ මාසය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළද මෙම වසරේ එයට ඉහළ යොමුවක් ලබාදෙමින් ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාවය පිළිබද බහුපාර්ශවීය යාන්ත්‍රණ කමිටුව විසින් හෙට (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත. මෙම යාන්ත්‍රණය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදුවන්නක් වන අතර මෙහිදී රටේ පෝෂණය පිළිබදව ඉහළ යොමුවීමක් පවතී.

    පෝෂණ මාසයේ අරමුණු සහ බහු පාර්ශවීය සහභාගීත්වය සම්බන්ධයෙන් ඔක්තෝබර් 13 වනදා සාකච්ඡාවක් සහ වැඩසටහනක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙහිදී විවිධ අමාත්‍යංශ, එක්සත් ජාතීන්ගේ සංවිධාන, සිවිල් සංවිධාන ආදියෙහි එකතුවක් සැලසුම් කර ඇති අතර මෙම එකතුවේදී දැනට ක්‍රියාත්මක වන සහ ක්‍රියාත්මක වුණු වැඩසටහන් සහ ඒවායෙහි සාර්ථකත්වය සම්බන්ධව සහ ඉදිරි සැලසුම් පිළිබදව සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වෙයි.

     

    පෝෂණ මාසය පිළිබද මෙම කරුණු  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුව ඇසුරෙනි.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya