අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානසික සෞඛ්‍ය මේ තරම් වැදගත් ඇයි?

    ඔක්තෝබර් 10, 2022

     ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

    මානසික සෞඛ්‍ය මේ තරම් වැදගත් ඇයි?

     

    ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි. “සියලු දෙනාගේ මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම ගෝලිය ප්‍රමුඛතාවක් බවට පත් කරමු“ යන්න ලෝක මානසික සෞඛ්‍යය දිනයේ මෙවර තේමාවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික සෞඛ්‍ය නිර්වචනය කරන්නේ මානසික රෝග වලින් තොර වීම පමණක් නොව පුද්ගලයෙකු තම හැකියාවන් නියමාකාරයෙන් හඳුනාගනිමින් එදිනෙදා ආතතීන් සහ ගැටළුවලට නිසායාකාරව මුහුණ දෙමින් ඵලදායි ලෙස ජීවත් වීම ලෙසයි.

    ශාරීරක සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්නේ යම් සේ ද මානසික සෞඛ්‍ය ඊට සාපේක්ෂව ඇතැම් විට ඊටත් වඩා ගුණාත්මක ලෙස පවත්වා ගත යුත්තකි. මන්ද ශරීරයේ සියලු පද්ධතීන් ක්‍රියාත්මක වන්නේ මොළය විසින් දෙනු ලබන විධානයන්ට අනුවය.

    අප දැනුවත්ව හෝ නොදැනුවත්ව එය සිදු වන්නේ මොළය මගිනි. බටහිර විද්‍යාවන්ට අනුව මනස යනු මොළයයි. පෙරදිග විද්‍යාවන්ට අනුව මනස යනු වෙනම ඉන්ද්‍රියකි. එනම් පංචේන්ද්‍රියෙන් වියුක්ත වූ සයවන ඉන්ද්‍රියයි. නමුත් මේ සයවන ඉන්ද්‍රිය සියල්ල පාලනය කරයි යන්න පෙරදිග දැනුම් පද්ධතියේ මතයයි.

    මේ කුමන ආකාරයක දැනුම් පද්ධතියක වුවත් මනස යනු සියල්ල පාලනය කරන ඉන්ද්‍රියකි. එසේනම් ශාරීරික සෞඛ්‍යට පෙරාතුව අවධානය යොමු කළ යුත්තේ මානසික සෞඛ්‍ය දෙසටයි. මනස ලෙඩ වීම යනු ශරීරය ලෙඩ වීමයි.

    මානසික සෞඛ්‍ය නොමැතිවීම හෘදයාබාධ, දියවැඩියාව, අධිරුධිර පීඩනය, සුවබර නින්දක් නොලැබීම, ප්‍රතිශක්තිය අඩු වීම වැනි විවිධාකාර රෝගාබාධයන්ට ගොදුරු වීමේ මග පාදයි. ජීවත් වීම වෙහෙසක් , කරදරයක් බවට පත් වන්නේත් , අප වටා සිටින මනුෂ්‍ය සබඳතා දුර්වල මට්ටමක පවතින්නේත්, ජීවිතය පරිපූර්ණ තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය මග නොපෙනී යන්නේ මනස ලෙඩ වීමේ ප්‍රථිඵල ලෙසිනි.

    පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙරට ජනතාවගෙන් 5%- 15% අතර සංඛ්‍යාවක් විශාදය සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා ප්‍රකාශ කර ඇත.

    ජාතික මනසික සෞඛ්‍ය විද්‍යායතනයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය පවසා ඇත්තේ මේ වන විට උපකාරක සේවා සඳහා යොමුවන පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. එය යහපත් තත්ත්වයක් නොවේ. නමුත් මානසික ආතතිය කාලයත් සමග විශාදය තෙක් වර්ධනය වී සියදිවි නසා ගැනීම එහි කෙළවර බව මිනිසුන් දැනුවත් වීම හොඳ දෙයකි. තමන්ට ගැටළුවක් තිබේ නම් එය ළඟම හිතවතෙකු වෙත පවසා විසඳුමක් ලබා ගැනීම පහසුම ක්‍රියාමාර්ගය වේ. එසේ නොමැතිනම් සුදුසුකම් ලත් මනෝ උපදේශකයෙකු වෙත යොමු වීම සුදුසුම ක්‍රියාමාර්ගය වේ. විශාදය තත්ත්වයක දී නම් ඹෟෂධ ප්‍රතිකාර සඳහා යොමු විය යුතුමය. ඔනෑම තරාතිරමක පුද්ගලයෙකු මානසික සෞඛ්‍ය බිඳ වැටීමකට ලක් විය හැකිය. එය වෘත්තිය හෝ උගත්කම බලනොපාන කාරණයකි.

    මනස ලෙඩ වීම යනු අපේ සිතුවිලි හා ආකල්ප සෘණාත්මක ලෙස ගමන් කිරීමයි. ඒ සඳහා විවිධ හේතු බලපෑ හැක. වර්තමානයේ දී නම් රටේ පවතින ආර්ථික තත්ත්වය බොහෝමයක් පිරිසකගේ මානසික සෞඛ්‍ය බිඳ දමා ඇත. ජීවත් වන පරිසරය, සබඳතා පවත්වන පුද්ගලයින්, අප මුහුණ දෙන අත්දැකීම් හමුවේ අපගේ මානසික සෞඛ්‍ය ගුණාත්මක භාවය තීරණය කරණු ඇත. නමුත් අප අභ්‍යන්තර වශයෙන් ශක්තිමත්
    සිතුවිලි හා ආකල්ප වලින් හෙබි අයෙකු වේ නම් පවතින තත්ත්වය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව පැහැදිලි මනසකින් කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. අප ජීවිතයේ මුහුණ දෙන සියලු තත්ත්වයන් පාලනය කරනු ලබන්නේ අපගේ සිතුවිලි හා ආකල්ප විසිනි. එසේනම් නිතර සාමකාමී හා යහපත් සිතුම් පැතුම් වලින යුක්ත වීම මානසික සෞඛ්‍ය කෙරේ බලපාන ප්‍රධානම කාරණය වේ. සතුටින් සිටින මනසකට තම හැකියාවන් හා අවස්ථාවන් පැහැදිලිව ග්‍රහණය කර ගැනීට හැකියාවක් පවතී. තරගකාරී ජීවන රටාව තුළ මනස නිරෝගීව පවත්වා ගන්නේ කෙසේද යන්න වැදගත්ම කාරණය වේ. එයට ඇති සුබවාදීම පිළිතුර නම් තමාට ආදරය කිරීමයි. එය

    ආත්මාර්ථකාමී හැඟීමක් නොවේ. තමාට ආදරය කරුණාව දක්වන පුද්ගලයා අන්‍යන් කෙරේ ආදරය කරුණාව දැක්වීම ද නිරන්තරයෙන් සිදු වන්නකි. ඒකාකාරි ජීවන රටාවෙන් මිදී පවුලේ අයත් සමග හෝ මිතුරන් සමග විනෝද චාරිකාවක් යෑම, තමන් කැමතිම චිත්‍රපටයක් නැරඹීම, කැමතිම ගීත රස විඳීම හරහා මානසික ඒකාග්‍රතාව යහපත්ව පවත්වා ගත හැකිය. සුවබර නින්ද, සමබර ආහාර වේලක් ගැනීම මොළයේ සමබර තාවය රැක ගැනීමට සඳහා බලපාන සාධකය.

    ඔබ යම් මානසික ගැටළුවකින් පෙළෙන්නේ නම්, එය තේරුම් ගත හැකි ළඟම ඥාතියෙකු හෝ නොමැතිනම් 1926 කෙටි දුරකතන අංකය අමතා ඔබගේ ගැටළුවට විසඳුම් සොයා ගත හැක. ඔබ වෙනුවෙන් සුදුසුකම් ලත් උපදේශකයින් මේ හරහා උපකාර කිරීමට සුදානමින් සිටී.

    නව නිපැයුම් , නව නිර්මාණ, නව අදහස් උපදින්නේ පැහැදිලි මනසක් තුළයි. මනස නිරෝගීව තබා ගැනීම යනු ශරීරය නිරෝගී වීමයි. ශරීරය හා මනස නිරෝගී වීම යනු ජීවිතය සැහැල්ලු හා සුන්දර වීමයි.

     

    යුදීෂා සුබසිංහ
    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
    අනුරාධපුරය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya