විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගැනීම අද (03) පෙරවරුවේ සිදු විය.
වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකොන් මහත්මිය වෙත සිය සුබ පැතුම් එක් කළ අතර, ඒ මහතා කියා සිටියේ මෙම අංශය යටතේ සිදුවන ප්‍රධාන කටයුත්තක් වන වෛද්‍ය නිලධාරින්ගේ ආයතනික රාජකාරී පිළිබඳ අවශ්‍ය නිසි කටයුතු ඉටු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතාව, ආකල්ප මෙන්ම කුසලතාවය ද විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකොන් මහත්මිය සතුව ඇති බවයි.
වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ ආයතනික රාජකාරී කටයුතු විධිමත් කිරීමට කටයුතු කිරීම තුළ ශ්‍රී ලාංකීය ජනතාව වෙත වෛද්‍යවරුන් විසින් ලබාදෙන සේවා උපරිමයෙන් ලබාදීමට දිරිගන්වන ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට හැකි වනු ඇති බවද සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.
සමිද්ධි සමරකොන් මහත්මිය කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මාතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආයතන, පුහුණු හා පර්යේෂණ වැනි තනතුරු ගණනාවක් හොඹවා ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින්, ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


