ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව ඇරඹෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව ඇරඹෙයි
  • SocialShare:

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව ඊයේ (13) පෙරවරුවේ කොළඹ දී ආරම්භ වුණ අතර එහි දී දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපීය සමුළුවේ සභාපතීත්වයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් වුණා.

ඊයේ (13) සිට (15) වන දින දක්වා  තෙදිනක් පැවැත්වෙන මෙම 78 වන සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සපයනු ලබනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්  (Dr. Tedros Adhanom Ghebreyesus) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ යන මහත්ම මහත්මීන් ඇතුළුව රටවල් 08 ක් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරු සහ රටවල් දෙකක් නියෝජනය කරමින් තානාපතිවරු ද, අනෙකුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින්ගේ ද සහභාගීත්වයෙන් මෙම සැසිය පැවැත්වෙන අතර ඔවුන් ඉදිරි වසර සඳහා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය ද මෙහි දී සකස් කරනු ඇත.

මෙම කලාපීය සමුළුවේ දී ප්‍රමුඛ සෞඛ්‍ය ගැටලු පිළිබඳ යෝජනා සම්මත කර ගැනීමත්, පෙර වසරවල යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමත් සිදුවන අතර, සියලු ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, සැපයීම සහ ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය ආශ්‍රිත තිරසාර සංවර්ධන ඉලක්ක නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නැවත පණ ගැන්වීම ද සිදු වේ.