කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක සහන ණයක්

කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක සහන ණයක්
  • SocialShare:

කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 500ක සහන ණයක් ලබා දීමේ වැඩසටහනට අදාළව කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු සමඟ ගිවිසුම්ගත වීම  ඊයේ  (01) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ , මෙම වැඩසටහන තුළින් කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ යම් පෙරළියක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

ව්‍යසායකයාට ඊළඟ පියවර සඳහා යාමේදී මූල්‍ය ගැටළුවක් ඇති වේ නම් ඊට අවශ්‍ය මුල්‍ය සහය ලබා දීම මෙම ණය යෝජනා ක්‍රමය මඟින් සැපයිය හැකි බවත් සහන ණය යෝජනා ක්‍රමයේදී අය කරනු ලබන සියයට හතරක පොළිය පරිපාලන වියදම් සඳහා පමණක් අය කරන බවත් පැවසීය.

මෙම අවස්ථාවට එක් වූ කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා -

“අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට වැඩසටහන් රාශියක් සැලසුම් කරලා තියෙනවා. අඩු භූමියකින් වැඩි ඵලදාවක් ලබා ගැනීමටත්, වසවිස භාවිතය අඩු ඵලදාවක් ලබා ගැනීමටත්, ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හොඳ බීජ ලබා දීමටත්, පස පරීක්ෂා කරලා පසට ගැලපෙන විදිහට යෙදවුම් යෙදවීමටත් තාක්ෂණික ක්‍රම භාවිත කිරීමටත්  අපි කටයුතු කරනවා. විශේෂයෙන් වාරි පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. තාක්ෂණික දැනුම ගොවීන්ට ලබා දීමටත් අපි කටයුතු කරලා තියෙනවා.

විශේෂයෙන් තරුණ ව්‍යවසායකයින් කෘෂි ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට අදාළ මැදිහත්වීම් කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. ආවාහවිවාහ කටයුතුවලදී කිසිවකු තමන් ගොවියෙක් හොයනවා කියන කාරණය කියන්නේ නැහැ. අද තරුණයින් තමන් ගොවිතැන් කරනවා කියලා කියන්න  ලැජ්ජයි. මේ මනෝභාවයන් බිඳ දැමිය යුතුයි. අපි Smart ගොවියෙක් නිර්මාණය කළ යුතුයි.

ගොවියා ව්‍යවසායකයෙක් බවට පත් කළ යුතුයි. කෘෂි ක්ෂේත්‍රය තුළ වැඩි වැඩියෙන් ආදායම් ලැබෙනවා නම්, හොඳ උත්තේජනයක් තියෙනවා නම් වෙළඳපොළ ප්‍රශ්නය ගැනත් අවබෝධයක් තියෙනවා නම් ව්‍යවසායකයෙක් විදිහට ඉහළට එන්න පුළුවන් කියන මතයත් එක්ක තරුණ පිරිස කෘෂිකර්මාන්තයට නැඹුරු වෙනවා. 

ආරම්භයක් විදිහට මේ වැඩසටහනට රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඉතාමත් අඩු පොළියකට තරුණ කොටස් තෝරලා කෘෂි ක්ෂේත්‍රයට අදාළ විවිධ ව්‍යාපෘති ඔස්සේ මේ ණය පහසුකම් ලබා දෙනවා. මේ ණය පහසුකම ගත්තු කෙනා ව්‍යවසායකයෙකු විදිහට ඉදිරියට ගෙන එන එක තමයි අපගේ ඉලක්කය.”

අයදුම් පත්‍රය ගැසට් පත්‍රයක් මඟින් ඉඳිරියේදී ප්‍රසිද්ධ කරන අතර පුවත්පත් සහ මාධ්‍ය වලින් ලබා ගත හැකි වේ. 4% ක් වැනි සුළු පොළියකට සහන ණය ලබා දී කෘෂිකර්ම ක්ෂේත්‍රය වඩා දියුණු තත්වයකට ගෙන ඒම රජයේ ප්‍රධානම අරමුණයි. 

ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආර්.එම්.එන්. ජීවන්ත මහතා, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එස්.එන්.බී.එම්.ඩබ්. නාරායන මහතා, ප්‍රදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරි ඩී.එම්.ටී.එස්. කුමාර මහතා ගිවිසුම් ගත වීමට සහභාගී විය.