“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (3) සිට ක්‍රියාත්මකයි

“වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (3)  සිට ක්‍රියාත්මකයි
  • SocialShare:

ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි සහ ගරු පරිසර අමාත්‍යතුමාගේ නායකත්වයෙන් තිරසර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක් තේමාවෙන් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම අරමුණු කර ගනිමින් ස්වභාවික වන සම්පත සංරක්ෂණය උදෙසා “වන සුරැකුම” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය, පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටවන ලදී.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුතුව ස්ථාපිත කරනු ලබන මෙම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය විවෘත කිරීම ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් අද (03) පෙරවරුවේ දී කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, අංක 07 දරණ පරිසර අමාත්‍යාංශ (වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අංශ) පරිශ්‍රයේදී විවෘත කෙරිණ.

පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවාවක් මගින් මෙම මෙහෙයුම් ඒකකය සක්‍රීය ලෙස ක්‍රියාත්මක වනු ඇත. ලංකාවේ වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිත සිදුවන හානි තත්වයන් පිළිබඳ 1995 කෙටි දුරකථන අංකය ඔස්සේ මහජනතාවට මෙම මෙහෙයුම් ඒකකය වෙත තොරතුරු ලබා දීමේ අවකාශය පවතී.

වැඩිවන, වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමත් එම අපරාධ මැඩලීමේ මෙහෙයුම් සිදු කිරීමත් මහජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව තොරතුරු ලබාදීමටත් හැකි පසුබිමක් සැකසීම සඳහා ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, වන ජීවී සංරක්ෂණ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නියෝජනය වන පරිදි, නිළධාරීන්ගෙන් සැදුම්ලත්ව මෙම මෙහෙයුම් ඒකකය අද (3) දින සිට ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, ත්‍රිවිද හමුදා නිළධාරීන් සහ වන ජීවී, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.