විදාතා සම්පත් මධ්‍යස්ථාන ආශ්‍රිතව කුඩා තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන 25 ක් ස්ථාපිත කරනවා - විද්‍යා හා තාක්ෂණ ඇමති

විදාතා සම්පත් මධ්‍යස්ථාන ආශ්‍රිතව කුඩා තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන 25 ක් ස්ථාපිත කරනවා - විද්‍යා හා තාක්ෂණ ඇමති
  • SocialShare:

විදාතා සම්පත් මධ්‍යස්ථාන ආශ්‍රිතව කුඩා තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන 25 ක් ස්ථාපිත කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන විදාතා වැඩසටහන හරහා වීරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානයේ සහයෝගයෙන් සාර්ථක ව්‍යවසායකයන් බවට පත්ව තිබෙන ව්‍යවසායකයන්ගේ හමුවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පසුගිය දා පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

අමාත්‍යාංශය යටතේ තිබෙන පර්යේෂණ ආයතන ඇතුළුව වෙනත් පර්යේෂණ ආයතන මගින් ගොඩනැඟෙන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ දැනුම ග්‍රාමීය මට්ටමට ගෙන යන සම්බන්ධීකරණ ඒකකයක් ලෙස විදාතා මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. රට පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ස්ථාපිත විදාතා මධ්‍යස්ථාන ජාලය හරහා දේශීය ස්වාභාවික සම්පත්වලට මෙන්ම ශ්‍රම සම්පතට අගයක් එකතු කර සුළු හා මධ්‍ය පරිමාණ  ව්‍යවසායන් නිර්මාණයෙන් ග්‍රාමීය ආර්ථිකයත්, ජාතික ආර්ථිකයත් ශක්තිමත් කිරීමත් විදාතා වැඩසටහනේ අරමුණයි. එම අරමුණට අනුව විදාතා ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර සංවර්ධනයේ දී ඹවුන් මුහුණ දෙන ගැටළු හා දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කිරීම, ව්‍යවසායකයන් දැන් සිටින මට්ටමට වඩා ඉහල තලයකට ඹසවා තැබීමට ගත යුතු  පියවර, සහ මේ කරුණු වෙනුවෙන් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳව පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි දී සිදු විය.   

මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා, විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික සැලැස්මක් මේ වන විට අමාත්‍යාංශය මගින් සකස් කෙරෙමින් පවතින බවත්, එම සැලැස්මට අනුව විදාතා වැඩසටහන සාමූහික ජාතික ක්‍රියාවලියක් ලෙස පරිවර්තනය කරන බවත් ප්‍රකාශ කළේය.

වැඩි දුරටත් අදහස් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“රට පුරා විදාතා සම්පත් මධ්‍යස්ථාන ආශ්‍රිතව කුඩා තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන 25 ක් ද (Mini Technology Incubation Centre)  පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. එක් එක් ප්‍රදේශවලට ආවේණික කර්මාන්ත සහ ස්වාභාවික සම්පත් පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කර එම කර්මාන්ත සංවර්ධනය සඳහා ව්‍යවසායකයන් කණ්ඩායමක් වෙනුවෙන් කුඩා තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථානයක් ඇති කර තාක්ෂණ පහසුකම් ලබා දෙනවා.”

“කෘෂිකාර්මික, කාර්මික මෙන්ම පාරම්පරික දේශීය කර්මාන්ත ආදී ක්ෂේත්‍ර දියුණු කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධ කිරීමටත්, ඒ ඹස්සේ රටේ අනන්‍යතාව ලෝකය හමුවට ගෙන යමින් විදේශීය ආනයනික භාණ්ඩ සමග තරග කළ හැකි අපනයන තත්වයේ දේශීය භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් සහය ලබා දෙනවා”

විදාතා ව්‍යවසායකයන්ට අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන සපයාදීම සම්බන්ධව දේශීය බැංකු සමග සාකච්ඡා කෙරෙන බවත් පැවසූ හෙතෙම  ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා ප්‍රාදේශීය සභා සමග එක්ව වෙළඳපොළ පහසුකම් සලසා දිමට අවධානය යොමු කරන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.  

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේනුතු මන්ත්‍රී අරවින්ද සෙනරත්, විද්‍යා හා තාක්ෂණ  අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විදාතා) මනෝජ් කරුණාරත්න, වීරකැටිය ප්‍රාදේශීය ලේකම් ආර්.කේ.විතාරණ  යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.