සමහර අවස්ථාවලදී ඇතැම් වෘත්තීය සමිති ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව සිදුවන බවත්, වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කිරීමේ අයිතිය තිබුණද පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අහිංසක ජනජීවිත අවදානමට ලක් කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදිය යුතු බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේය.
අද (22) පෙරවරුවේ ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රයේ පැවති “වැඩ කරමු - රට හදමු, ගෞරවනීය රාජ්‍ය සේවාවක් ගොඩ නගමු” යන තේමාව යටතේ පැවැති සමස්ත ලංකා සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහ සමුළුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, සෑම පුද්ගලයෙකුටම දේශපාලන අදහස් හා අභිලාෂ තිබිය හැකි වුවද, දේශපාලනය සහ රාජකාරි ජීවිතය එකට බද්ධ කර නොගත යුතු බවයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රය නිරන්තරයෙන් වෙනස්වීම්වලට ලක්වන අභියෝගාත්මක ක්ෂේත්‍රයක් බැවින් එහි නියුතු සියලු දෙනා නව තත්ත්වයන්ට අනුගත වෙමින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
රට මේ වනවිට ජාත්‍යන්තර යුධමය හා ආර්ථික අභියෝග මධ්‍යයේ සිටින බවත් එම තත්ත්වයන් ශ්‍රී ලංකාවට පමණක් නොව අසල්වැසි රටවල් රැසකටද බලපා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද, ලොව පුරා ඉබෝලා වැනි වසංගත තත්ත්වයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත්, එවැනි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය ශක්තිමත් වැඩපිළිවෙළක් මේ වනවිට සකස් කර ඇති බවත් ඔහු පැවසුවේය.
ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, මැයි සහ ජුනි මාස ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යන කාලසීමාවන් බව පෙන්වා දෙමින්, එය පාලනය කිරීම සඳහා දිවයින පුරා විශේෂ ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළේය.
සෞඛ්‍ය අංශයට රාජ්‍ය පුනරාවර්තන වියදම්වල විශාල කොටසක් වෙන් කෙරෙන බැවින් මුදල් කළමනාකරණය ඉතා වැදගත් බවත්, සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ දායකත්වය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.
නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ වෙමින් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක කිත්සිරි ගුණවර්ධන, සමස්ත ලංකා සෞඛ්‍ය කළමණාකරන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩෙනීෂ ගමගේ, ලේකම් ඩී.එම්.එච්.එම්. දිසානායක, භාණ්ඩාගාරික ජේ.ඒ.ඩී.සී.එන්. රණසිංහ, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් චන්දිම විමලසුරේන්ද්‍ර, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය රූපා කන්නංගර, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රගීත් අතාවුද, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ, සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය විකුම් චන්ද්‍රරත්න, සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත, සමසෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සම කැඳවුම්කරු ඖෂධවේදී චලිත් අමරදිවාකර, සෞඛ්‍ය සේවා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සභාපති තුෂාර බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන් මෙන්ම දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන් රාශියක් ද එක්ව සිටියහ.


