මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුම්වලට හෝ පුද්ගලික ගිණුම්වලට කිසිදු බලපෑමක් නැහැ – කැබිනට් ප්‍රකාශක

මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුම්වලට හෝ පුද්ගලික ගිණුම්වලට කිසිදු  බලපෑමක් නැහැ – කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

ලංකා බැංකුව විසින් සිදුකළ ගෙවීම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ හෝ පුද්ගලික ගිණුම්වලට කිසිදු අහිතකර බලපෑමක් සිදුව නොමැති බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ද්විත්ව ගෙවීම් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පැහැදිලි කිරීමක් ලබා දී ඇති අතර, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ගොනුව සම්ප්‍රේෂණය කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අදාළ කොන්ත්‍රාත්කරුවන් සහ ගනුදෙනුකරුවන් කිහිපදෙනෙකුට ඩුප්ලිකේට් ගෙවීම් සිදුවී ඇති බවද හෙතෙම පැවසීය.

එම මුදල් නැවත අයකර ගැනීම සඳහා බැංකු පද්ධතිය තුළ ක්‍රමවේදයන් පවතින බවත්, ඒ අනුව අදාළ මුදල් ආපසු ලබා ගැනීමට කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය හේතුවෙන් රජයේ ගිණුම්වලට හෝ පුද්ගලික ගිණුම්වලට කිසිදු අහිතකර බලපෑමක් සිදුව නොමැති බවත්, අදාළ මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.